නාරිලතා (සිංදුව)
 

කිසියම් ජන කවියකුගේ රචනයක්‌ වු මෙය නළුවන් අතර අතිශයින් ප්‍රකටය. මෙහි අර්ථ රසයට වඩා ශබ්ද රසය උසස්‌ ය.


තම්දෙන තම්දාන තානෙනා
තම්-දාන තනෙන
තම්දෙන තම් දාන තානෙනා


සුන්දර සිරි නංග පෙම්බරී-
හට නිගා කරන
නන්දන වන නාරිපිඤ්ජරී


සුරලොව බැලුවත් එහි නැත
නාලොව බැලුවත් එහි නැත
බඹ ලොව බැලුවත් එහි නැත


සව්සිරි පිරි මනුලොව හිම්-
ගත මිස මේ දිනි පිය වනා


සුන්දර සිරි නංග පෙම්බරී-
හට නිගා කරන
නන්දන වන නාරි පිඤ්ජරී


වඩන බවුන් ඇත ගරුතර
තවුසෝ මුන් ඇත සමහර
දැහැනෙන් පිරිහෙති කරදර
කාම සලෙලු මන පිනවන
ඉතිරියෙකැයි සිතා රාගෙනා


සුන්දර සිරි නංග පෙම්බරී-
හට නිගා කරන
නන්දන වන නාරිපිඤ්ජරී


ඉතිරි රුවක සිරිය දරන
වැතිර අරණ තැනෙක පිපෙන
නොතිර කුසුම මන වඩවන
ලොව්තුරු මුනි දහම් විලස
නාරිලතා කියා දනුමැනා


සුන්දර සිරි නංග පෙම්බරී
හට නිගා කරන
නන්දන වන නාරිපිඤ්ජරී


හිමාලයේ මිස අන්තැන
නිමා නැතුව සෙව්මුත් පැන
පමාවේය සොයනව දැන
සමා සිතින් සතර දහම්
බැලූ අයට පෙනේ මන මෙනා


සුන්දර සිරි නංග පෙම්බරී-
හට නිගා කරන
නන්දන වන නාරිපිඤ්ජරී


කිරලා වන්නම


උඩරට නළුවන් අතර අති ප්‍රකට දහඅට වන්නමට අයත් මෙය කිරලා නද දෙමින් පියාසර කරන විට ඇතිවන ලයමානය කවියට නැගුනු හැටිය.


තත්ත තනත් තනෙතත් තන තම්දන
තත්ත තනත් තනෙනා


ඔන්න අසන් සකි මෙන්න මෙ වන්නම දුන් සැටි වෙන් කරලා
බින්න නොගන්න ලෙසින් පවසන්නෙමි වන්නමෙ නම සොයලා
දෙන්න උඩින් ගමනින් නද දුන් හඬමෙන් කවියෙන් බැඳලා
මෙන්න බලන් කිරළුන්ගෙ මෙ වන්නම නම් දැන ගන්න බලා


තුරඟා වන්නම


අශ්වයාගේ ගමන විස්‌තර වන මෙහි පවත්නා ලයමානය අතිශයින් චමත්කාර ජනකය. මෙය තුරඟකුගේ ගමන ඔබ සිතට නඟා පෙන්වන්නකි.


තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තනෙන
තත් තත් තනත් තම්දෙනානා


තන තන තතන තනෙන
තන තන තතන තනෙන තානා


දැක්‌මෙන් නොයෙක්‌ සිරින
නික්‌මුන් ගිගුම් දෙවන
ඉක්‌මන් ගමන් විහිදුවන්නේ


සකල නර සමූහෙට
වැඩි තරම් විපුල වන
රජසිංහ නමකි පැවතෙන්නේ


ලක්‌දිව කිවීන් පොරණ
ගත්තෙන් සොයා තාල
සත්තෙන් තුරඟු පනින වැන්නේ


මේ කුදිරඩි වන්නමට
කියන කවිපද තාල
සබේ සැම දනෝ අහපන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017