දේවාරාධනා
 

අකුරු කරවීම සඳහා පුරාණයේ භාවිත කළ වදන් කවි පොතේ මේ රමණීය කවි පෙළ ගීතවත්කම අතින් උසස්‌ තැනක්‌ ගනී.


තැඹිලි තඹුතෙල් නවසි බෝදිලි තල් කිතුල් උඳු කැන්මනා
ලේන තැරි දෝතලු පුවක්‌ වලු කදලි සුවඳෙල් සමඟිනා
ලබු පුසුල් නාරං දොඩම් අඹ රසැති වැල වරකා ගෙනා
තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමි මේ හැම සිතුමෙනා


තානු තරුණ අරුණ කිරණ බරණින් යස තේජනේ
රාහු අසුර අසුරන් යුද ඔද වැඩි ගිරි රාජනේ
මූණු සයකි අත් දොළසකි මයුරා පිට වාහනේ
රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ


කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවසුරාණන්
ලකර සිරිලක දෙව් නරන් හට පැවත එන සොමි සඳාණන්
පඳුරු ලන කෙත් ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
අඳුරු රිවිදුර පදට ගුරුමට කතරගම දෙවි රජාණන්


රූණු රට කදිරා පුරේදී මූණු සය ඇති දෙව්රජාණන්
ආනුබාවෙන් මෙමට සිල්පය සිද්ද කර දෙන සමුදුරාණන්
බානු තෙදබල සව්සතුන්හට එළියකර දුන් සොමිසඳාණන්
දිනූ වන සිරි දිනෙන් දින රකු කතර ගම පුර දෙවිරජාණන්


සිද්ද කිහිරැලි සමන් බොක්‌සල් විඹිසන සිවුවරම් රජ නිති
සිද්ද මහ බඹු සක්‍ර ඉසිවර කතරගම දෙවියනුත් තෙද ඇති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍ර කාලී දේවි ගණ පති
සිද්ද සිරිලක මෙ හැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් නිති


වදන්කවිපොත

(c) Shilpa Sayura Foundation 2006-2017