වැලපීම
 

පත්තිනි සැහැල්ල ගම්බද මිනිසුන් අතර අතිශය ජනප්‍රිය පොතකි. එහි එන පත්තිනි සාමිගේ වැලපීම මේ ජන කවියා කවියට නඟා ඇති හැටි අසිරිමත්ය. බලන්න.


මගෙ ගණ රන් එ සාමිනේ
දුකි මට මගෙ හිමි සඳිනේ
දැන් මේ සැප හොඳ ද අනේ
මල් මද මගෙ හිමි සදිනේ


මල්මද අනුරාග මතින්
මම දුක්‌ විඳ ආමි රටින්
නුඹ ඉන්නේ මෙවැලි පිටින්
රන්වන් හිමි සඳ නැගිටින්


ඉඳලා එක යහනතිනේ
ඇරලා ආ ගමන් අනේ
ඉන්වද මේ දුක්‌ දැනුනේ
ඇරලා ආව ද මෙතනේ


ගත ගනරන් සිව්මැල්ලේ
කොසඹතුරේ සෙවනැල්ලේ
සළු පිට නිදි නැත ඉල්ලේ
සැප නිදිදෝ රළු වැල්ලේ


කෙල්ල අඬන සැටි නෑ සේද
ලොල්ල වඩන මෙ නුඹට වද
තෙල්ල ඇඳපු රුව මැකුනද
වැල්ල දරා නිදි ආවාද


ගත ගණරන් එ සාමිනේ
දුකිමට මගෙ හිමි සඳිනේ
නොකියා ආ ගමන් අනේ
තව සැප නිදිදෝ එතනේ


නුඹෙ රන් කඳ මැලවෙන්නේ
මගෙ සෙනෙහස වැඩි වෙන්නේ
ගුගුරා අද ලය දන්නේ
හිමිසඳ නුඹෙ පළි ගන්නේ


නුඹ ආ දුරු කතර අනේ
බාදා දැක කීමි අනේ
නාසා ආ දයෙ සිතනේ
දැන් මේ සැප හොඳද අනේ


කොමල පතුල් පෙතිසෙ දුටින්
විමල කරඬු බලා වටින්
කොමල පතුල් දෙක දෙපිටින්
විමල මහිමි සඳ නැගිටින්


ඇග ඇළිමැලි කඩමින් සිට
ඇස්‌ ඇර බලමින් පිට පිට
තොස්‌ කරවන් ම හිමි සඳුට
නැගිට සිටින් දැයි එම විට


-පත්තිනිහෑල්ල


විමසීම හා රස විදීම


1. ස්‌වාමියා මළ වියොවින් වැළපෙන ස්‌ත්‍රියකගේ දරුණු දුක මෙහි සටහන් වී තිබේදැයි විමසා බලන්න.
2. පත්තිනියගේ වැලපීම ඔබට ඇහෙන්නේ කවියා විසින් ඔබ ඉදිරියට ගෙනා ශබ්ද සංකලනයෙන් බව ඔප්පු කළ හැකිද?
3. පත්තිනිය සාමාන්‍ය ස්‌ත්‍රියකගේ ස්‌වභාවයට නඟා පෙන්වීමට කවියා අදහස්‌ කෙළේ මන්දැයි සොයන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017