කාලිය උසිගැන්වීම
 

රූපත් තරුණ බිරිදක රිදවීම සඳහා ඇගේ මහලු සැමියාගේ විරු බව කියන ගම්බද ගැහැණුන්ගේ කඩොලු කතා කවියට නැගු මේ ජන කවියා ගැමියෙකි. ඔහු ලිඳ ලඟට රැස්‌ වු ගැහැණුන් ලවා කියවන ටික බලන්න.


ලීල් නැතිව නිසරුව තෙපලන්නේ
මහල්ල නුඹගේ හිමි ද අසන්නේ
වාල් තමාවත් ඇද්ද ඉතින්නේ
වාල් විඳින දුක මෙනුඹ විදින්නේ


පැසී ඉසත් නිකටත් සොඬු ඇකිලේ
හැසී කුදත් යන ගමනත් බකලේ
නිසී වේද වෙත ඉදිනට මෙකලේ
ගැසී ද බොල තිගෙ දෑසට පටලේ


කුදේ ගැසී නැගිටින කල වෙවුලා
තදේ කැසිත් කැස කැසපට අකුලා
සොදේ විදින සැප විදුමට මෙකලා
ලඳේ නිසරු නොකරන් අප සියලා


බඩවක පිටවක සන් වැරටිල්ලා
දෙපටට කුදු ගැසී වකට කුදල්ලා
ඉසකේ පුපුරැටි දක්‌කඩ තොල්ලා
තිගේ සැමි බමුණා කුණු කෙල තොල්ලා


පෙරකල් ජාතියේ පැතුවා වැන්නේ
පරමල් පිදුවාදෝ පල දුන්නේ
නරමුල් ඇඟ ඇට කිඹුලකු වැන්නේ
හැමකල් මලදා දෝ සැප වන්නේ


ගැසී වකට කුදු ඉස කේ සුදු රළු
පැසී නිකට දත් බොල්ලෑ කෙළ තොළු
වැසී තිබෙන ඇස්‌ බියකරන සුළු
නැසී කුමට ඉඳ උගෙ ගෙයි එක්‌ කොළු


එක මඟ යන කල ඔබිනට ඇද්දෝ
ආනන කල උගෙ කට ගඳ නැද්දෝ
තී සැටි බමුණන් මේ රට නැද්දෝ
ගැට කෝනමෙකුට ඉඳ පල ඇද්දෝ


එබසට ලජ්ජාවෙන් ලද බැමිනී
අබ ඇට ලාසක්‌ පුපුරණ ලෙසිනි
විලි වැද ඉවසා රොස්‌ කොට එඩිනි
කළ ගෙඩි බිඳ ගොස්‌ තම ගෙට වැදුනි


වෙවුලයි පුපුරයි දත්කයි රොස්‌ කොට
සූරයි කම්මුල් දෙක ඇද තර කොට
තැවුලයි ගිය ගිය තැන රටවට මට
අවුලයි වෙන්නේ මෙතනින් යන්නට


මූණ රවාගෙන ගොස්‌ ගෙට වැදිලා
පූන නූල ඇද දමමින් බිඳලා
යානේ උන් බමුණා බිම පෙරලා
බාන ලෙසට අල්ලාගෙන රැවුලා


කන් සෙට පාරක්‌ දෙමැයි කියන්නී
මන් බොල තට දර දිය ද අදින්නී
කන්නට පැන්නා මෙන් වැලහින්නී
කන් කටුවට කරදර තෙපලන්නී


-වෙස්‌සන්තර ජාතකය


විමසීම හා රස විදීම
1. කාලිය කෙබඳු ස්‌ත්‍රියකැ'යි මෙයින් ප්‍රකට වන්නේ දැයි බලන්න.
2. ඇගේ ස්‌වාමියා කෙබඳු කෙනෙක්‌ ද?
3. ගැහැණුන්ගේ උස්‌ ගැන්වීම සාර්ථක වී ද?
4. කතා බහ ඇසූ ඈ ක්‍රියා කළේ කෙසේ ද?

(c) Shilpa Sayura Foundation 2006-2017