කවියා නිර්මාණය කළ මේ අපූරු රූපය බලන්න. මේ වෙනුවෙන් ඔහු තෝරාගත් වචන කාරණයට සුදුසුව පවත්නා හැටි ඔබට පෙනෙනවා ඇත.
වෙසෙස් උසස් ගත් අඳුන් කුලක් මෙන
සිරස් කොරොස් කෙස් යබලිත විලසින
සරොස් රතැස් යුග යුගකෙල රිවි මෙන
රකුස් විලස් ගති සහසැස් මෙලෙසින
දියඩක් සඳමෙන් නැමි දළ යුවලැති
රියසක් ලෙස කන්තෝඩු දෙකක් ඇති
මිටි දත් පුන් මැද බුන් නාසක් ඇති
කොරසක් පමණට ලොකු මුහුණක් ඇති
පැසුණු හුරුකරවන් බඳ කරිනා
පිරුණු මසින් උරසලතල ලෙසිනා
නෙරුණු සැලක වන් මහබඩ බරිනා
නැමුනු පෙරට දන යුවලින් තෙඩුනා
එක් අතකින් යගදා ගෙන නැනුළු
එක් අතකින් ඇද ඇද දැලි රැවුළු
දක්කවමින් සියලඟෙහිම විසුළු
වික්ම පමින් බස් බැණ රළු පරළු
ගතින් විහිදී ගිනි දැල් යුතු රුදුරු
කටින් නොමද ඉස ඉස ගිනි පුපුරු
දිගුන් බිහිරිකර අඬ ඇන කුරිරු
පියෙන් පියට මැඬ මැඬ සහළගුරු
දුටුවන් මුසපත් වන ලෙස බිය වැද
ගනිමින් රුදුරු රකුස් වෙස් යුතු තෙද
එහිඋන් මහ බෝසතු හට මන නද
ගනිමින් සහසැස් නුදුරුව සිටි සඳ
-දහම්සොඩ කව
විමසීම හා රස විදීම
1. රකුසකු මේ යයි දැක්වීම සඳහා කවියා ගත් වෑයම කොතෙක් දුරට සාර්ථක ද?
2. ඔහු තෝරාගත් වචන පිළිබඳ ව ඔබ අදහස විස්තර කරන්න.
3. මෙහි ගැබ් වී ඇති රසය කුමක් ද?
4. "මෙහි ශබ්ද රූපයට වඩා බල පවත්නේ මනස්කල්පිත චිත්රයය." මේ කියමන ඔප්පු කරන්න.
![](/sayura/images/logo2.png)