කුස රජ යුදයට යයි
 

අලගියවන්නයෝ අපේ කියවන්නන් අතර ඉතා ජනප්‍රිය කිවිවරයාය. ඔහු කුස රජ යුදයට ගිය හැටි කියන මේ කවිපෙළ උසස්‌ රචනාවකි.


අඬසඳ වන් බුබුලු ලකුළු විසිතුරු මුවපට බඳිමින
මනනද කන් සෙමෙර සදා ගෙලෙ රන් රඝූ දැල් යොදමින
පැහැනද රන් සැත්පොරෝදු දළමිණි රඝූ නඳ දෙවමින
මදුරද සරසා මෙහෙයු ඇතුපිට කුසරජු නැගෙමින


සොබමන් එරවන නැගෙමින් සුරසෙන් පිරිවරා නොමින
අසුරන් යුදයට නික්‌මුණු පුරඳර සිරිසර පාමින
සුපසන් පබවති බිසවුන් ඇතු පසසුන ඉදුවා ගෙන
නොලසින් පෙරදිග වාසල් දොර අරවා පිටත් වෙමින


යුගත රුදුරු සැඬ නලයෙන් උනුන ගැවසි පහළ පබද
මහත අසනි ගොස සිය දහසක්‌ නික්‌මුණු මෙන් එක බද
දියත පසිදු කුසරජු නම් මම යයි පවසා යුතු කෙඳ
දිගත පැතිර යන විලසට තෙවිටක්‌ සිහ නද කළ සඳ


දිනකර උදයග පත් සඳ දුරුවන ගනඳුර ලෙසින්ද
එකසර සිහ නද අසමින් දිවයන ගජ රළක්‌ මෙන්ද
දිගතර පැතිරී නික්‌මුණු ගිනිදුම් දුටු බිගුන් මෙන්ද
වනතුරු රුපු සෙනඟ බිඳි ගිය සඳ බිය ගෙන නොමින්ද


මිතුරු කුළඟ කුස නරනිඳු එතමන් තද තෙද පාමින
සතුරු සෙනග ලුහුබදවා වනතුරු රුපු රජු සත් දෙන
උතුරු සළු වලින් ඔවුන් බැඳ ජය සිරි වැළද නොමින
පතුරු වමින් යස දස දෙස රණ බිම් මඬලෙහි සිටිතැන


කිසි අවියක්‌ අතට නොගෙන කැටකින්වත් නොදී පහර
බොන පමණක්‌ මැස්‌සකුටත් ලෙහෙයක්‌ නොම සොල්වා වෙර
රුදුරුපුසක්‌ බිඳ ජය ගෙන සිහනද කළ පමණින් තර
කළබල වික්‌මන් විසිතුරු නරඹා සතුටුව පුරඳර


නික්‌මෙන මිණි කරණ තරුණ අරුණ කිරණ කිරණ ලෙසින
වක්‌ අටකින් උදුල අනගි නායක මිණි රුවනක්‌ ගෙන
වික්‌ මැති කුස රජුගෙ විසුලු දරුකර උර පළඳවමින
සක්‌ රද නොමදින් තුති කොට සුරපුරයට වනි සතොසින


-අලගියවන්න (කුසජාතකය)


විමසීම හා රස විදීම


1. රජ යුදයට සැරසුණු හැටි කවියා කියන්නේ කෙසේදැයි පරික්‌ෂා කරන්න.
2. කුසරජුගේ අභීත භාවය ඔහු නිරූපණය කෙළේ කෙසේ ද?
3. "යුදයෙන් ජයගත් හැටි කවියා විස්‌තර කෙළේ ආගමික හැඟීම් සිත් තුළ ඇතිවය" පැහැදිලි කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017