රාජසිංහ
 

වේතාලං කතාවේ එන රාජසිංහ වර්ණනාව පුරාණ කවි සම්ප්‍රදායේ සුලභ රචනාවක්‌ වන නමුදු, කවියා එය කියන හැටි චමත්කාර ජනකය.


සිරිලක්‌ පුර පවර
රජසිහ නිරිදු සක්‌ යුර
සෙංකඩගල නුවර
වැජඹී එක්‌සත් කළෝ දියතුර


තෙද රසිනි සිංහය
විකුමෙන් කෙසර සිංහය
දියතුළව සිංහය
මෙරිවි හිමි අප රාජසිංහය


සුර සිරි නිවාරය
රජසිහ මෙලංකාරය
දැක බයෙන් කාරය
මෙරිවි කුලයට අලංකාරය


රජකුල මුළු දියත
කිරුලඟ මෙපද පළදිත
අප හිමි රජ දියත
සුරිදු මෙන් රැක සිරින් වැජඹෙත


සිරි පිරි සක්‌ දෙවි
රම් රද සමඟ සිව් දෙවි
මෙමා නොම දුටු දෙවි
දකිමි ලක අප රාජසිහ දෙවි


දිය කුසට ගරුවන්
රජසිහ නිරිදු හිරුවන්
නුදුටු පුර හිරුවන්
දැකපු වෙනි අප හාමුදුරුවන්


අප නරනිදු පවර
මුළු ලොව එකසෙසත කර
රජ සිරි විදින වර
වනත් කවියෙන් දෙමළ බස පෙර


පොරණ මෙ කතාවය
දෙමළෙන් තිබූ කතාවය
පෙම ඉන් ඉතාවය
කියමි වේතාලං කතාවය


-වේතාලං කතාව


විමසීම හා රස විදීම


1. රජු මහත් වර්ණයට භාජනය කළ කවියා දැඩි රාජ භක්‌තියක්‌ ඇත්තකු බව ඔප්පු වන්නේ ද?
2. තමා දෙවියන්ගේ නම් පමණක්‌ අසා ඇතුවා මිස, ඔවුන් නුදුටු නමුත් රාජසිංහයන් දැකීමෙන් දෙවියන් දුටු බව කවියා කියයි. මෙය රසවත් කියමනකි.


 

(c) Shilpa Sayura Foundation 2006-2017