නෘත්‍ය මණ්ඩපයක රඟ දක්වන කාන්තාවන් නැටුමට සැරසී ගත් විලාසයත්, ඔවුන් දැක් වු අතීතයත් චමත්කාර ජනක ලෙස පෙන්වන මේ කවි පෙළ ඔබ රසය කරා ගෙනයාමට පොහොසත්ය.
එසඳ රජ බවනැතුළ මුවමද තෙලින් තැන තැන පහන් අළුකොට
විළඳ පෙර පස්මලිය ගන කොට දිලෙන මුතු සුණු හිසෙහි මතුපිට
විසඳ මහරුක් කුසුම් සුලකල කසුන් කළදෝ කුඩු තබාවට
සුවඳ දුම්දී අගුරු කළුවැල් සදුන් පිරි මඬල බිම ඈ කොට
වගරු සිරි රැදි සැදිබුමු තුරුණු තුරුවා සුවන් කම් කළ
උතුරු ඇතොරෙහි නලඟනන් වෙත කැදෙව් කරනුව එරජු මනදොළ
අඟරු බබලන නලඹු නොමසඳ තීදස වට සුරඟෙනව් පැහැදුළ
සොඳුරු විලසින් තුරු සැරීමට ඇරඹූ උනුනුන් තොසින් හදතුළ
සමන් මලිගිය කුසුම් මුහුලස සදා ගණනිල් සදල වල කොට
රුවන් බරණෙහි පැළඳ මිණිවන් ගනවකුල් විඳු වැලදි විලසට
පසන් නළලත කියඹු ලිය ගෙතු කලුවෙලෙන් වැසූ උනිදු තරමට
සවන් යුග මිණි කොඬොල් ලඹදින් කනී ලෙහි රන් රුලඹ දෙනුකොට
අයෙක් රන් පෙද තබා දෙකණත අයෙක් කලදෝ පෙදෙන් දුලවා
නැතත් මුතුවන් ලෙලෙනහර ගණරන් මිහිඟුවන් කර බබලවා
සුලක් ඝන මිණි වලලු යුවලත හැමග හෙම් මිණි බරණ ලෙලවා
මදක් හිඹමින් ඇලලු දෙසඳුන් කොකුම් පියයුරු මඬල අලවා
සරල පිරිසිදු පඬෙර වසනැද මුතු ලියෙන් ලඹ මුහුල සේ
සසල රන් රසු ගිගිණි ගිනුදම් පුළුලුකුල ලෙලවා තොසේ
නිමල හිත සැදි වටොර දැල් දනු බුබුල දහපත රැඳ ලසේ
කොමල දෙසරණ දැයරු සලඹින් සෑදි උපමා නොමැතිසේ
තබතබා අලකා වැකුසද කමල් පෙල නරවරා අබියස
පිඹපිඹා සින්න මුත් වස් දඬු මිණි පුරුක් එක් සිදුරු කවුලස
ඔබඔබා නෙත් සැරය විඳ විඳ අහිත නල මුවඟනන් කර මුස
සබගැබා අළුකොට රැඟුම් පානට පටන් ගතු නලඟනෝ රැස
ලෙලව ලෙලවා විදුලි සිරි පසු කරන යුවලත පැහැදුලේ
සොලව සොලවා සුපිපි පියකරු කැකුළු රණහස එක තුලේ
ඇලව ඇලවා දුටන් මඳ වන තසර ගමනින් සෙබ තුලේ
මොලව මොලවා විරිදු නලඟන ළත' ලතෙහි ලද ගිනි මැලේ
කියාපන් ගන්නා නදින් මුදු ලලිත රාගම් තිසර පල කොට
ගසාමන් මෙන් මිහිඟු මද්දල බරත සතරට විරිදු නොම කොට
තබාතැන් තැන් සුරක් පදරස වයන පදයට එකතු කොට කොට
නැටූවන් අන් කවුරු කියනෙද අනත වණපොත් වති මනා කොට
ලවන් පලු පොබයමින් මද මද හසින් දන මන නුවන් පියකර
අලුත් රැදි යවලැසින් අඬ දිටි සැරෙන් විඳ දනමුවන් පොබ කර
පවන් යුග කෙළවෙසින් ගොඩ එන ලෙසින් රලවැල කසුන් සුමුදුර
ලදුන් කළ ටඟ පියෙන් බැලු බඹ සරන් ගිය නොහෙ පයින් ඔවුනැර
දිගු දෙයක් ලිය ලෙලවමින් සපුමල් දමෙව් මොලකැති උදුල්
වයනතත් සර වෙණෙහි අනුසා තබ තබා ගි කියා ලකල්
වෙතට පත් දිව හඳඹ මුත් හද වෙවුල්වන තරමට තුමුල්
නිරිදු සිත් කොඳ පොබකළෝ රසසද රැසින් නලඟන එකල්
-කව්මුතුහර
විමසීම හා රස විදීම
1. නාටිකාංගනාවන් සැරසුණු අයුරු විමසා බලන්න.
2. ඔවුන් පැළදි අබරණ මොනවා ද?
3. එදා රඟ හලක දක්නට ලැබුණ සුලබ වාද්‍ය භාණ්ඩ තෝරා බලන්න.
4. නැටුම් කෙබදු වී දැයි මෙහි එන විස්තරය අනුව සලකා බලන්න.
5. මේ නැටුම් හා ගුත්තිලයේ දිව්‍ය නෘත්‍යය සසදා සාකච්ඡා කරන්න.