බොහෝ සංදේශ කාව්‍යයන් තුළ එවකට පැවති රාජසභාව පිළිබඳ විස්‌තරයක් එයි. ඒ අනුව සැවුල් සන්දේශකාරයන් දුටු රාජ සභාව මෙයයි.
අග රජු කිරුළු කුළු-පෙර ගිරි හිසිනිදු වන
සුනිමල් දිමුතු මුතුලැල් තුරු පෙළිනි යුත
සිහිලැල් සේ රැසින් හෙළිකළ නෙදිගු බිත
පර රද කර තඹුරු-මුකුලිත කරමි නොරඳන
සන්සුන් සුපුන් සඳවන් සේ සතෙහි යට
නන් රන් කමින් බබලන සිහසුනෙහි පිට
සුවන් ගිරි දෙපස ගෙන හැලි සිරිත් සෙඳ
ලඳුන් දුන් සුපිරිසිදු සෙමෙර නලවිඳ
ලෙවන් හට සුරිඳුසිරි පළකර නොමඳ
තොසින් මෙ අප රජසිහ නිරිඳු උන් සඳ
රුදු විරුදුන් ජයගෙන විකුමෙන් පබඳ
සරණ මෙතුන් ලකවට කිරුලිස පැළඳ
ලෙවන් හට සුරිඳුසිරි පළකර නොමඳ
සිටිති මුඳුන් දී මෙ නිරිඳුගෙ සිරි පද
රිවිබඳ තෙද අනල පත් වු ඔහු පුවළ
මනනද සොළි පාඩි කේරළ නිරිඳු කැළ
හිමිපද නිය කිරණ ගඟ ගිලෙමින් තුමුල
වැඳ වැඳ සිටිති මුදුනත් දී කර කමල
වරම මුව පහළ සිව්වේ තතු ලෙසට
සකම් විදිය නොවරද කරන හැමවිට
උතුම් පෙරවි විප්මුළු මුල් වු සෙතට
නොහිම් ව පවසති ආසිරි වදන් සිට
ඉගෙන අදිකරණ සහ රජ නිති සත
රකින ලොව සතන් විලසින් එකම නෙත
සොබන මහ ඇමතිවරු පරසිඳු දියත
බැතින වැඳ සිටිත් මුදුනත් තබා අත
මහත සයුර දිය හා පස් මුළු දෙරණ
නිසිත නැණින් දැන කළ මෙතැකැ'යි පමණ
දියත වචන වහසල මුකවෙට්‌ටි ගණ
සිටින සුපුන් සිසිකැන් මෙන් සබ කිරණ
ගැඹුරු සකු මගද හෙළු දෙමළෙහි පුරුදු
සොඳුරු සඳ ලකර වියරණ දත් කිවිදු
මියුරු අරුත් යොදමින් කට බැඳි විරිඳු
අතුරු නොව කියති සබතුරෙහි නරනිරිඳු
නානා රුපුන් ජය ගෙන විකුමෙන් නිසග
ගානා තෙදග රඟ තුඹුතල දිගු මතග
සේනා නායක මැතිවරු පසෙහි යුග
පීනා සිටිති හිමිසඳ නිය කිරණ ගඟ
සයුරට වදින ගං හෝ විලස පළකර
නිසිපට සළු කපුරු කස්‌තුරි සඳුන් හර
නෙකරට වලෙහි නිරිදෝ දී පඬුරු කර
මොනවට සිටිති මුදුනත් දී කර තඹර
මහත් ගැඹුරු සර සමුදුරට මනරග
නුමුත් වවද සිටිනා වඩදියක් රග
සමත් බලැ'ති සිරිලක මහසෙන් සමග
සිටිත් මලල දොලුවර නන් දෙස සෙනග
සිටු සෙනෙවි ඈපා මාපා නැමැති
ඉටු ගුණ නැණින් යුතු මැතිගණ මහ පිනැති
පටු නු අදර බැති පෙම් වඩ වඩා නිති
තුටු මන් පුරා වැඳ වැඳ නැගි නැගී නිති
සිරිත් ලෙසින් පෙර නිරිදුන්හට පැවති
මහත් ඇතුන් සහ අය පඬුරු ගෙන රුති
ඇවිත් වන්නිදස'ටින් වන්නිවරු නිති
යුගත් මුදුන් දී එහි වැද සිටිති
තිරසර නැණ නැවින් තෙරපත් සත් මුහුද
නොවිතර කිවි වරන් මේ නිරිදු නමට වැඳ
මනහර නැඹුරු විරුදාවලි කව් පබඳ
පුවතර වැදි ගණන් පවසා නැවති සඳ
මෙලෙස සව් සිරින් සැදි සබයට පවර
පිවිස තසිත බුහුමන් වඩමින් අදර
තිදස හිමි සදිසි රජු පද කමල වර
සතොස සිතෙහි සපුරා වැඳගෙන වසර
සැවුල් සන්දේශය
විමසීම හා රස විදීම
1. මේ කවි පෙළ රසය අතින් සලකා බලන විට කිනම් තත්ත්වයක පවත්නේ ද?
2. මෙහි ඇති ඓතිහාසික වටිනාකම කුමක් ද?
3. මේ රාජ සභාවේ පෙනී සිටියන් එක්‌තැන් කොට බලන්න.
4. "මෙහි එන්නේ සුලභ වර්ණනාය." මේ කියමන හේතු සහිතව ඔප්පු කරන්න.