විකට රසයෙන් පරිපෝෂිත වු මේ රචනාව කවියාගේ සහජ ශක්‌තිය මොනවට පැහැදිලි කරන්නකි. ලසයා බදු මිනිසුන් ඔබට ද මුණගැසෙන්නට ඇත.
කපා අඟ මුල ගත්තු කඳ සේ දෙකොණ එකලෙස වටකුරු
දෙපා තබමින් බකල ගමනට කොරල ටික සියලඟ දැරු
උපායෙන් රෑ ගොසින් අල්ලන කකුළු එළු බලුගේ මරු
අපායට වත් එපාවද මේ රුදුරු ගුණදැරු ජඩ සොරු
අල්ල මින් එළු දෙනෙක් සිරකර අරන් වැට ඇතුළට තමා
බෙල්ල බඳිමින් ගහට ලංකර මරන්නට සැදු තැත තමා
කොල්ල කන්නට සදනවද තා කියා ඇසි පටබැඳි තුමා
මෙල්ල වී ඒ බසට එළුදෙන යන්ට ඇරියයි ලස හමා
සොරව ලසයා අඹා මේලෙස කොස්‌ද පොල් දෙල් අතදරා
තරව අමුඩේ ගසා බුලතුත් පන්සලේ සොල්මන් කරා
ඔරවමින් සිට රිලා බැල්මෙන් නොබා යමකට බියකරා
අරව ඇරදුනි සබා මඩුවක බලිය ලසසගෙ තිරකරා
රෝග තිබුණත් කෑම කන්නට පිරිය ඇත ලසයගෙ සිතේ
බාගයක් වත් බඩට ආහර දෙතුන්ද නැත හාමතේ
වේගයක් ලෙස අමුඩ ගසමින් කරයි සොරකම් රා මතේ
යාගයක් කර මෙපුද දෙනතුරු නොදොඩ ඉදු තව කට මැතේ
විගසකින් ගොස් අඹ විමානෙට නැගී ගසමින් පිට පටේ
හෙමි හෙමින් නෙලනෙලා බසිමින් බුලත් පුරවා රෙදි පටේ
යන ගමන් පිට්‌ටනි ගොඩෙන් බා බීපු තෙලිදිය පොල් කැටේ
අනුහසින් දොස බසින් ලසයගෙ විහළු මහරා බොන කටේ
භයින් ඉදලා රා ටිකක් බී ගෙදර ඇවිදින් පෙරළියේ
ගොසින් වට පිට බලබලා සෙද නැට්‌ට කපමින් හෙරළියේ
තොසින් කරපිට තබාගෙනැවිත් ගෙදර දමමින් ඩිගිරියේ
එයින් දොස බැස ගියයි ලසයගෙ බුලත් කන රොහු හැඹිලියේ
-මිහිරිපැන්නේ ධම්මරතන
විමසීම හා රස විදීම
1. ලසයා නිර්මාණය කිරීමේ දී කවියා දැක්‌වූ අපූරු ශක්‌තිය විමසා බලන්න.
2. සරල බව අතින් මේ කවිපෙළ ගන්නා ස්‌ථානය කුමක් ද?
3. මෙය යාගයක ලීලායෙන් රචනා කිරීම නිසා ඇති වූ විශේෂ සිද්ධිය විමසා බලන්න.