පෙරහැරක නැටුම්
 

සුලභ දර්ශනයක්‌ වු පෙරහැරක්‌ වර්ණනා කරන කිවියා ඔබ ඉදිරිපිට මවා පාන ජංගම චිත්‍රය චමත්කාර ජනකය.


සියල් දත් අප මුනිදු වදහල පිරිත් ඈ බණ වැදෑරීමට
නිමල් ලෙස සිල් බරණ සුපැළඳ සිටින ලොව වැසිනුවන් තුටු කොට
එකල් පසතුරු නද පවත්වා සඟරුවන එහි වැඩම කෙරුමට
සියල්ලන් රැස්‌කර පිටත් කර වැඩම විය පෙරහැරෙන් මෙලෙසට


එකැස්‌ බෙර සිරිවිලි දෙකැස්‌ බෙර ගැට බෙරය තම්බෝරු ඩැක්‌කිද
වෙසෙස්‌ වස්‌ දඬු කුලල් වීණා මිහිගු බෙර මනනද උඩැක්‌කිද
සතොස්‌ කර හැම අයගෙ කන්පල කළෝ තුරු නද සමඟ සක්‌කිද
මෙලෙස්‌ තුරු නද පවත්වා වෙන පිනක්‌ කෙරුමට කාට හැක්‌කිද


යළිත් තෙන තෙන තෙනන් තෙන තෙන කියා ගී තාලම් කියන්නොද
තවත් වීණා නාදනුකර තබ තබා දෙපතුල් නටන්නොද
උඩත් පැන පැන පිනුම් ගහ ගහ අත්දෙකින් හිටගෙන නටන්නොද
බයක්‌ උපදින තරම් හැමටම නොකේ යක්‌ වෙස්‌ ගෙන නටන්නොද


තිදස්‌ ලිය ලෙස ඇඳ පැලඳ කළගෙඩි අරන් පිඹ පිඹ නටන්නොද
සතොස්‌ වම අත පත වනා මහ පුදුම ලෙස ලී කෙළි නටන්නොද
නොලිස්‌වම අමුතුවෙන් පද බැඳ විරිදු ගී කියමින් නටන්නොද
කෙලෙස්‌ මහ දෙවි පටන් ගත් සොඳ බහුරි රඟ විලසට නටන්නොද


වරල් බැඳ රැළි තබා ඇඳගෙන සොකරි නම් නැටුමක්‌ නටන්නොද
නිමල් ඉංග්‍රිසි ලියන් මෙන් ඇඟ බද බදා තුටු කර නටන්නොද
කකුල් දෙකටම බොරු කකුල් බැඳ ඇගේ දැළි ගුරු ගා නටන්නොද
නිතින් පන්තෙරු වළලු උඩහැර කව් කියා අල්ලා නටන්නොද


පසන් කඩු ඈ දවි අරන් නෙක ලෙසට හරඹය කර නටන්නොද
අනුන් සිත් නිති සතුටු කර කර අසුන් පිට හරඹෙන් නටන්නොද
ඇතුන් පිට ඉඳ ඇතුන් පිටට ම මලක්‌කම් ගසමින් නටන්නොද
නිතින් උරුවිසි දුටත් පහදින ලෙසින් සැරසී ගෙන නටන්නොද


-බත්තරමුල්ලේ ශ්‍රී විභුති


විමසීම හා රස විදීම


1. "මේ කවි පෙළහැරක නානාවිධ අංග වර්ණනා කරන්නන් හෙයින් වටිනා කමක්‌ ඇත්තේය. සාකච්ඡා කරන්න.
2. මෙහි ව්‍යක්‌ත වර්ණනාව උචිත බව පැහැදිලි කරන්න.
3. මේ කවි පෙළේ ඇති ඓතිහාසික වටිනාකම කුමක්‌ ද?  

(c) Shilpa Sayura Foundation 2006-2017