ඉතින් ආයුබෝවන්
 

කන්ද උඩරට අන්තිම සිංහල රජු ඉංග්‍රිසීන් විසින් අල්ලනු ලැබ නැව් නංවූ අවස්‌ථාවේ රජු තුළ පහළ වු සිතුවිලි, දැක්‌වීම සඳහා රචනා කරන ලද මේ කවි පෙළ අතිශයින් ජනප්‍රියය. මෙහි රසවත් බව සොයා බැලීම සඳහා කියවා බලන්න.


දෙදහස්‌ වසක්‌ සිට අප සතුව පැවතිය
නිදහස්‌ කිරුළ අද සතුරන්ට අයිතිය
උදහස්‌ කම් නිසා සිය දනගෙ විමතිය
නිදහස්‌ බව නසා ගති සිහල ජාතිය


ඇහැලේ පොළගෙ රැවටිලි බස්‌ නොව නිම්මේ
සිහළේ රඳළවරු අදහා ගෙන පෙම්මේ
තුමුලේ සිහළ රද පෙළ වනසා දැම්මේ
සිහලේ වතුර දෝ දැන් සිරි ලක්‌ අම්මේ


නීතිය මගෙ නොවේ එය දැනගත් නමුදු
බීති සිදුකෙළේ ඇහැළේපොළ මැතිදු
ජාතිය රට සමය ඉන් සිහසුන ද ඉදු
පීතිය සිතින් පරසතුරන් වෙතම පිදු


අපායට බියෙන් මත්පැන් නොබිව් මට
උපායෙන් පොවා යළි මා ගෙන සතුට
පපා දර සිටිය සුරතල් කුමරු සෙට
කපා දැමු බැවින් විය සතුරන්ට රට


නොකෙළෙමි කිසි දොසක්‌ මගෙ සොහොවුරන් වෙත
දැරුවෙමි රටෙහි දියුණුව පිණිස නන් තැත
ඉවසමි මහත් දුක්‌ ඉන් මේ ලෙසින් පත
සනසමි අහෝ! කෙළෙසින් බොළඳ වෙන් කත


නෙකදුක්‌ සැවොම විදිමින් සොමි ගුණෙන් යුතා
විතරක්‌ නොවන වැඩ සැදු මහ දනන් වෙතා
සිරි වික්‌මන් නමැති සුරතල් ඔබේ පුතා
අද දුක්‌ විදින සිර කරුවෙකි අහෝ ඉතා


විහිදා දසත සරසන මිණි කිකිණි රැසේ
දළදා මැදුර රන්කොත සමඟ නුඹ කුසේ
මහ දාගැබ් සිරස දිළි කොත් කැරලි වැසේ
පැහැදා පෙනේ තවමත් මට උතුරු දෙසේ


සවැනිය මුනි සඳුගෙ සිරිපද මන කල්ල
ගිහිණිය සුමන ගිරි පෙර දිග සිරි දුල්ල
රමණිය අවර දෙස දිසි අත්තන ගල්ල
කැළණිය සහ පෙනේ තව පොල් තුරු නිල්ල


උපනිමි ඔබේ කුස මෙලෙසින් පිරි රුසිරු
දැරුවෙමි කිරුළ විඳිමින් සැම රජ ඉසුරු
සුරකිමි ඔබේ දරු කැළ බිඳිමින් සතුරු
හැරයමි දුකින් අද ඔබ ලක්‌ මවුනි ගරු


නොව හිම් යසස්‌ දැරු සිරිලක්‌ මෑණියනි
නමදිම් මහත් ගුණ ඔබ සිහිකර ඉතිනි
රජකම් කළත් කළකම් පලදෙන බැවිනි
මෙතරම් දුකක්‌ සිදුවිය මගෙ පෙර පවිනි


අහෝ ගණදුරයි අද පෙරදිග මැණික
හොහෝ හඬ නැගෙයි හදවතෙහි ටික ටික
සහෝදර පිරිසගෙන් පැමිණි මේ දුක
කොහෝ මවත් ඉවසමි සතුටින් නිසැක


විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ තිබෙන තුරු
නෙතින් කදුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක්‌ මවුනි ගරු 


විමසීම හා රස විදීම


1. සිරකරුවකු ලෙස රාජ්‍යය අතහැර යන රජු සිතට නැගුණු අදහස්‌ සිතියම් කිරීමෙහි ලා කවියා ගත් වෑයම සාර්ථක ද?
2. රජු ස්‌වකීය නිර්භීත භාවය දක්‌වන්නේ කෙසේ ද?
3. නැවට නැඟි රජුට හෙල දිව පෙනුන පරිදි පරීක්‌ෂා කොට බලන්න.
4. සිරකරුවකු හැටියට යටත් රජු ත:ළ පැවති ආත්ම ශක්‌තිය ප්‍රකට වන්නේ මොන කියමන් වලින් ද?
5. මෙහි රසය මොන කරුණු උඩ රැදී පවත්නේ ද?

(c) Shilpa Sayura Foundation 2006-2017