නාගරික සභාවේ නියමය පිට කොළඹ අතු සෙවෙනි කළ ගෙවල් කැඩීමට විරුද්ධව යැවූ පෙත්සමක් දැන් ඔබ කියවන්නට සූදානම් ය. මේ පෙත්සම යවන ලද්දේ මින් බොහෝ කලකට පෙරය. කවියා මළගිය නමුත් පෙත්සම ඔබ අතේය.
දිළිදු අප වසන්නා වු ගෙවල් මේ පුරේහී
කදිම රුවට මාරුක් පත්වලින් ඇත් සොයලා
එලෙස ඇති නමුත් නැත් සේ දයාවක් මෙතෙක් කල්
නගරික අණ මෙන් ඒවා කඩව් දැන් කියන්නා
බොහොම හොද ගෙවල් සාදා ඉතාමත් උසස් ලෙස්
යසට උළු හොයාලා ඉන්ට ඇත්නම් සැපෙන් දැන්
නොවෙමු අපි අසන්තෝස් ඒ නමුත් ලක් නිරින්දේ
දිළිදුකම නිසා ඒ ලෙස් කිරීමේ මගක් නෑ
ඉනට අඳින රෙද්දක් කෑම හැන්දත් අනුන්ගෙන්
පිනට හිඟ හිඟා වාගෙයි අඳින්නේ බුදින්නේ
එබඳු අපට මේ ලෙස්නෙන් අණක් ඇයි දෙවන්නේ
අප මෙපුරවරින් පන්නා දැමීමේ සිතින්දෝ
අලුයම පිබිදී ගොස් කෝපි අවුලා විඩාවී
දවසකට පනම් දුක්සේ හයක් ගන්න ගෑණු
යළි එයිනි තමන් හා දූ දරුන් එක්ව කාබී
කොහොම උලු සොයන්නෝ දෝ ගෙවල් ඇති උලව්වේ
දිළීදු අපගේ ගෑණුත් දූවරුත් පුත්තු හාමත්
වෙමින මෙපුර මාවත් හි මැරී යත් පමානැත්
එයිනි පැමිණි හැක් වූ ඒ මහත් පව් මදක්වත්
නාගරික මහතුන් වෙත් හී නොවෙත්දෝ නිකල්වත්
දැනට මෙපුර නෙක් තන්හි නිවාසි හිඟන්නෝ
අතන මෙතන ගොස් රෑ පාරවල් හී නිදත් මැයි
එලෙස අපට බෑ ඒ මන්ද කීවොත් නිරින්දේ
පුරුදු නැති නිසාමැයි කෝම දුප්පත් ව උන්නත්
එය කොහොම උවත් නැත්නම් ගෙවල් ඉන්ට සිත්සේ
කොතන හරි අපිත් ලෝකේ නිදාගන්ට ඕනෑ
එලෙස උණු කලෙක්හි රෝග පීඩා සැදිලා
මිය පරලොව යාවි මේ වදෙන් බේරිලා වත්
-චාර්ලස් විලියම් ද සිල්වා
විමසීම හා රස විදීම
1. මේ පෙත්සම යවන ලද්දේ කා විසින් කාට ද?
2. නාගරික දිළින්දන්ගේ දුක් ගැනිවිලි මොනවා ද?
3. මේ රචනාවේ පදසංදර්භය ව්‍යක්ත ද?
4. මේ රචනාව පිළිබඳ ව විවේචනයක් ලියන්න.