මන්ත්‍රණ සභා මහල්ලා
 

කවියා මළගමක්‌ ගැන ප්‍රීතිවෙයි. රටට අහිතකරව සිය වසක්‌ විසූ මන්ත්‍රණ සභා මහල්ලා උන්හිටි හැටියේ අතපය නොසොල්ලා මළ පුවත කියමින් ඔබට ප්‍රීති වීමට ඔහු කියයි.


වසිනි දහස්‌ නවසිය විසිඑක පැමිණි
දෙවෙනි මසෙහි ගුරුදින දස එසත් වෙනි
ගොසිනි දිනිඳු පැළදිග සිටිසඳ දුකිනි
පැමිණි රුදුරු ගහ අපලය පල දෙමිනි


දරුණ ලෙස පෙලූ ලක්‌දිව මුළුල්ලා
පිරුණ සිය වසක්‌ ඉඳ දී තැවුල්ලා
පරණ මැති සභා නම් රුදු මහල්ලා
මැරුණ බව දනිව් අතපය නොසොල්ලා


ගොඩ මඩ කුඹුරු ගොවිතැන් වැනසුව සත්තේ
ගොඩ කොට වැව් අමුණු වල්බිහි කර ගත්තේ
දඩ මුඬ මිසක්‌ රට දියුණක්‌ නැති විත්තේ
හඩමුද මෙනුඹ මැරුණය මැති සබ මුත්තේ


ගමකට එක බැගින් රා කඩ තැබු අමන
අපහට හිමි හේන් අක්‌කර ගත් බලෙන
වෙන රට අයට අප මුතු පර දුන් එදින
මෙනුඹට සම සබාවක්‌ දියත නැත වෙන


දහකුත් එකට වැඩියෙන් රටට අනදර
නොයෙකුත් ලෙසට කළ සිය වසරක්‌ අතර
ගුණ නැත් මැති සබා නම් දුදන ගොර තර
මරපත් විය සතුටුවව් සුදන ලකතුර


ලංකා මහලු මැති සබ බියකරු මුත්තේ
දුන් දුක අපට මෙපණයයි නිම නැත්තේ
ඉන් නුඹ මැරුණාට කණගාටුව නැත්තේ
මින්පසු උඹ සදිසියෙන් මෙහි එනු නැත්තේ


විමසීම හා රස විදීම
1. මේ මන්ත්‍රණ සභාව කෙබදු එකක්‌ ද?
2. කවියා කියන හැටියට මොහු කළ වැඩ මොනවා ද?
3. මේ පිළිබඳ ඓතිහාසික විස්‌තර විමසා බලන්න.
4. කවියාගේ අනික්‌ රචනාවන් සමඟ මෙය සසදා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017