මත් පැනට ගිජු වු ගෙහිමියා හා ඔහු නිසා විපතට වැටුනු අඹු දරුවන් පිළිබඳව තාත්වික චිත්‍රයක් බදු මේ කවි පෙළින් කවියා සමාජයේ දුසිරිතට පහර දෙයි.
ගෙයි හිමි උදය පිබිදී නිදිමත පිටම
යයි මත් පැන් සැලට ඉණ ඔතමින් සරොම
බොයි ඉණ ඉහ විකුට මත්පැන් හිස් බගම
"ඇයි මම තමයි හපනා මුළුලොව එකම"
ඉර මුදුනට ළගයි තවමත් අඹුව නිදී
කරදර කරයි දරු කැළ බඩසයින් බැඳී
ගොරවා ඔවුන්හට නැගිටී පහර දදී
පෙර වු ගොමස්‌කඩ වත ඉණ වටෙහි බඳී
"ඇයි බොල මුර ගාන්නේ කෝ තොපෙ අප්පා
ඉහ මොල කාපියවු" යන වදනින් පුප්පා
දරුකැල තව තවත් බඩගින්නේ තප්පා
සිරිකැළ එන මඟට කටු ඇදහිලි කප්පා
ගොම කුණු-කසළ-කොළ රොඩු පිරිලා මිදුලේ
ඉම නැත කඩමාලු-කෙළ-සොටු පැල ඇතුලේ
විමනෙක නොව කසල බිම සිරිගත් විපුලේ
මෙම හැටි බලවු පවුලක ඇති වුණ අවුලේ
අවාසනා යකිනිය බැඳ තද ආසා
රවාගෙන ඉඳියි ගෙයි මුල්ලක් පාසා
ලොවා සින් කියන හිත මතුරක් නාසා
විවාහෙන් ලබන රුදු සැපවද මේසා
නොබිදුණු පිඟානක්-පීරිසියක් නැතුව
නොකැඩුණු මේසයක්-ඇඳ පුටුවක් නැතුව
නොඉරුණු වතක්-මල්ලක්-පැදුරක් නැතුව
පැතුරුණු කනස්‌සල්ලෙන් අඩුවක් නැතුව
ඉන්නා මේ ගෙදර අව පුරයට රලුව
එන්නා සවස බේබදු හිමි යම පලුව
වන්නා බිලිදු ඒ ඒ තැන අහු මුලුව
පෙන්නා අඩියෙ රඟ සිය අඹුවට කැලුව
බැඳගත් කොටි මූණු ඇති එවදක බාරී
නියපොත්තෙන් කොනිත්තා කිරි දරු නෑරී
"තගෙ මත්තෙම මැරෙණු මිස නොම යමී බේරී
දරුවත් බිම ගසමි" පවසයි රොස නෑරී
වෙරිය හිදෙන තුරු නැත්නම් දෙන්නාගේ
දිරිය බිඳෙන තුරු ගුටි ඇන මෙම ලාගේ
හිරිය නැති කතක්-හිමියෙක් කන දීගේ
බැරිය සැපත වැණුමට නම් මේ වාගේ
වරේ නිසි අහර නිසි විදියට නැතුව
වෙරේ මස් දියව පෑදුණු කටු ඇතුව
පෙරේත පැටවුන් වැනි දරුකැළ යුතුව
හිරේ හැටි බලව් නැති තැන එක මුතුව
දුක්‌ගිනි විපත් කරදර සාගිනි දිළිදු
යක් පිරිසක් අරක් ගත් මේ නිවසින් රුදු
නික්‌මෙයි හඬක් ඒ "කිම මේ සිහිනෙනුදු
දක්‌වට එපා නුවණැත්තෙනි මෙහි නොවදු
ඒ ඇසු පියා වන ඉටු දෙවි ඇස් පියවේ
"තු කිය කියා" සිරිකත බැල්මක් දියවේ
පෑ හිත දයා ගුණ යුතු මුවකින් හියවේ
මේගයබයා නක නරකයකැ" යි කියවේ
බොරලැස්‌ගමුවේ ජී.එච්. පෙරේරා
විමසීම හා රස විදීම
1. ගේ හිමියා කව්ද?
2. ඔහුගේ බිරිඳ කවියට නඟා පෙන් වු හැටි විමසා බලන්න.
3. බේබදු ගෙදර තත්වය ඔහු කී හැටි තාත්වික ද?
4. මේ කවි පෙළ කුමන පරමාර්ථයක් පිට රචිත ද?
5. මෙහි චමත්කාරය මොන කරුණු උඩ ගොඩ නංවා තිබේ ද?