ජාතිකානුරාගය
 

ජාතිකානුරාගයෙන් ඔද වැඩී ගිය විදේශික කවියකුගේ මුවගින් ඇද හැලෙන උණුසුම් අදහස්‌ කෙසේදැයි මේ කවි පෙළ ඔබට දක්‌වයි.


මොන කරුමය ද තව ඇහැරුණු බවක්‌ නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පළක්‌ නැහැ
දිනුමෙත් පැරදුමෙත් කෝකත් කමක්‌ නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක්‌ නැහැ


ගිය ගිය තැනදි ජාතික හෙන හඩම තලව්
සිය ගත රිහිරි ලක්‌බිම තෙම තෙමා හෙලව්
එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
දිය දද දියත නංවනු බැරි මොක ද බොලව්


මෙරමා අයත් පැවතුම් ඇති අයට කැත
නිරයේ පවා මද අවකාසයක්‌ නැත
පරමෝදාර නිදහස ගැන ඇතොත් හිත
හිරගේ මැදින් එහි යන මඟ ඇදී ඇත


ඉදිතත් මොටද මේ ජාතික වහල් කමේ
මැරුණත් හොදයි නිදහස්‌ නම් පුලුල් බිමේ
මෙය සිත් ගතොත් සිංහල යන නිමල් නමේ
තෙදකිත් යළිදු පැතිරෙයි ලොව මුළුල්ලමේ


පැරකුම් ගැමුණු ගජබා රාසිංහ සුරෝ
ඉවසුම් නැතිව විමසති තොප කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝවුරෝ
එක පිම්මෙන් ම කවුරුත් ඉදිරියට වරෝ


කාමුක කුහක ලොකු අයගේ නපුරු කමින්
බාගෙට මැරී ඉන්නා දුගියාගේ නමින්
මාරක විපත් හැම එකටම මුහුණ දෙමින්
පෝරක හතක නොව දාහක නහිමි පෙමින්


මුළු වැර යොදා වැඩ කරතොත් ඇතුව හිත
පුළුවනි අපට බිදුමට ලොකු අයගෙ මැත
කුළු ගෙඩි පහර එකපිට එක හෙලන මත
පළු පළු නොවන කොර සැඩි කළු ගලක්‌ නැත


සහන ලැබෙන තුරු ලංකාදීපයට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යම් ඉදිරියට
මහන කමත් බණ දහමත් එයයි මට


-ටිබෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමි - (නිදහස්‌ දැහැන)


විමසීම හා රස විදීම


1. කවියා ජාතික පරිහානිය දැක ඉවසුම් නොදෙන සිතින් මේ ලියා ඇති බව ඔප්පු කළ හැක්‌කේ මොන කරුණුවලින් ද
2. අදහසට උචිත වේගවත් වචන තෝරා ගැන්මෙහි මේ කවියා සමර්ථය. කරුණු සහිතව ඔප්පු කරන්න.
3. කවියා කිපී සිටින්නේ මොන කරුණු නිසා ද?
4. මෙවැනි කවි අගය කළ හැක්‌කේ මොන කරුණු උඩ ද?

(c) Shilpa Sayura Foundation 2006-2017