සව්දම් ජෙමා
 


කස්‌තුරි සුමුගුවද-සය දරු සුවඳ කැට
මා දිනු තිහාරිය සිය නෑ තරුණ රට
සව්දම් ජෙමා යන සිව් දෙය ඇරුණු විට
මුළු ලෝකයම අමතක කළ හැකිය මට


හෝතඹුවකුගෙ වාගෙයි නිතරම දැහේ
පොල්ලෙලි ගහන්නට පන්කාදුයි නාහේ
සව්දම් රසය නිතර ම මුවගින් වෑහේ
මොහු නම් හිඟන ලොව රජකමට ම සෑහේ


දෙමාලයට මඩකලපුවෙ සරම අදී
ඉත්තෑකුරු මෙන් කොණ්‌ඩය උඩට විදී
පුටුවක නමුත් පා ඉහළට රැගෙන ඉදී
අතමිට ඇතැ'යි දත් හැම කෙනෙකුටම වදී


අලි බත් ගොඩක්‌ ඇටයක්‌ බල්ලකුට නොදී
ලුනු බින්දුවක්‌, හොදි කදුලක්‌ නැතුව බුදී
සතයේ සුරුට්‌ටුව උගුරට දෙකට අදී
අත මිට ඇතැ'යි දත් හැම කෙනෙකුට ම වදී


මල්ලක පහේ ඇත පොට සැඟවුණ මඬිය
අත් පා කිතුල් පොලු කෙටි පමණට දැඩිය
අඩියේ පදම පිට දෙඩමලු බව වැඩිය
තඹ හැලියක්‌ වගෙයි නෙර වු බඩ ගෙඩිය


ජං පිට මං කියා පොඩි අවදියෙ දිම
පුරුදුව රිය වැලක්‌ පසු පස්‌සේ යෑම
රුපියල් අටක එක වේලට කඩ කෑම
කෑ හැටි කියුවා මට මතකය තාම


ගමේ පන්සලේ සහ සත් නමක්‌ හට
දන් කඳ රැගෙන දහවල් පිය නගන විට
බඩගිනි දැනී රිංගා බඩ වැටියකට
මුළු දන්කඳම කෑවා මොහු එතන සිට


හාල් සේරු හය ලිප උඩ ඉදෙන තුරා
ගව ගාතයක්‌ උයමින් ඇතිලියක පුරා
ටික ටික එයින් කා-බි හැලි දෙකක සුරා
මොහු නැවතුනේ බත ලඟ කළුකුමකු මරා


රා කළ හත අටක්‌ කට තබමින් බොනවා
කයියක්‌ පින්කමක්‌ නෑරම ඇවිදිනවා
දන් සැලකට ගියොත් එහි සේරම කනවා
ජෙමා මියගියත් ඔහු මට සිහිවෙනවා


විමසීම හා රස විදීම


1. කවියා අගය කරන සිවු පදය මොනවා ද?
2. සව්දම් ජෙමාගේ රූපය ඔබ ඉදිරියේ මවාපෑමට කවියා වහල් කොට ගත් පද විමසා බලන්න.
3. ජෙමාගේ ගතිගුණ කෙබදු ද?
4. ඔහු පිළිබඳ පැරණි ප්‍රවෘත්ති කවියා කියන්නේ කෙසේ ද?
5. චරිත නිර්මාණ රචනාවක්‌ වශයෙන් මෙහි ඇති වටිනාකම සොයා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017