අතිශයින් චමත්කාර ජනක මේ කවි පෙළ සැපයු කීර්තිමත් කිවිවරිය ඔබට ද සරසවිය මුණගස්‌වයි. සරසවිය හමුවූ ඇය ප්‍රීතියෙන් කුල්මත් වු සැටි කියවා බලන්න.
දවස් පතිගෙ රැස් කණිකා ගෙන මිණි කොඩොලග යොදා
දහස් ගණන් සුරමල් පෙති අමුණා මාලය සදා
ලමිස්‌සියක් සිනැහෙයි නෙළුමක දිගු වරලස මුදා
සරස්‌වතිය, සරස්‌වතිය ඔබ හමුවුන තැන හොදා
සක්‌පෙති මත දැහිගුල් පට වැනි සුසිනිදු තොල් තබා
රුක් මලකින් පැණි ඇද බී පැටළුණු බිගුදැල් අඹා
ඉක්‌මන් කර රොන් කෙමියෙහි මිණි බැඳ දෙපතුල් ඔබා
දක්‌වන මැන හඩවන හැටි ඉපනැලි වෙණ දිල් රූබා
සුලන් පහර වැද විනිවිද පෙනෙනා දුහුලෙහි රැලී
එකින් එකට වෙනවා අඹ දළු විලසට පැටලිලී
වසන්තයේ මල් නැටුමක් නෙළුමෙහි පිනි තැලි තැලී
නටන්නකෝ කැරකෙන තාලය අනුවම දිය සුලී
අමනල අත්තටුවල ඇති සුණු තවරා ගෙන වතේ
ලැම තන පට උර මුතුහර මිණි මෙවුලෙහි ඉග මතේ
කමනිය බව පෙන්වන්නට සැරසෙනු මැන බඹ කතේ
කැමරාවක් සූදානම් මේ බලන්න මගෙ අතේ
වලා නුදුටු තරු වැනි ගෝමර පෙන්වා ලයමැදේ
තලා නෙළුම් පෙතිවල ඇති හිරිකඬ පිනි බිදු උදේ
කලා රැජිණ අත රඳවා නටවන රූබර බදේ
බලාගෙනයි රේණුවකට පය සීරුන හොත් රිදේ
පලවා මල්සර පහරක් නයනින් වද බන්දනී
අලවා වදමල් කහටෙන් තොල් කවි ජන රන්ජනී
ගලවා හිස බැදුණු කුසුම සරසවි කොම ලන්ගනී
සොලවා පෙන්වන්නකො ඔබෙ විලුඹුන්උඩ කින්කිනී
කදු ගැටයක සීතල ගෙන දිව එන මද මාරුතේ
උදුරයි දිගු වරලෙහි මල් තව රොන් ගඳ හාමතේ
විදු දේවිය, මුතුහාරිය, කවිපූජිත කාකතේ
පුදුමයි ඔබෙ කලා රසික අබිචාරික ජීවිතේ
ගුත්තිල වෙණ නාදය මෙන් අළුයම සමනල ගමේ
මත් විහඟුන් තුරු හිස දෙන ගීයට දෙසවන නැමේ
රත්සරසට මා එන්නේ කොහොම ද ඔසරිය තෙමේ
අත්වැල් බැඳ නටමු ද අපි මේ නව නිල් තණ බිමේ
-ඉන්ද්‍රා කුමාරනායක
විමසීම හා රස විදීම
1. සරසවියගේ හමුවීම කෙබදු පරිසරයක සිදුවී ද?
2. ඇගේ සෞන්දර්යත් සවභාව සෞන්දර්&යත් අතර සම්බන්ධය එක්‌තැන් කිරීම සඳහා කිවිඳිය ගත් උත්සාහය සාර්ථක ද?
3. "ලාවන්‍යයෙන් මන්මත් වූවකු මේ කවිය තුළ දක්‌නට ලැබේ"
මේ කියමන ඔප්පු කරන්න.
4. රැස්‌කණිකා, දැහිගුල්පට, කලාරැජින, කිංකිණි යන වචනවල අර්ථය විමසා බලන්න.