ග්‍රන්ථ කර්තෘ
 

සුරතල් දියණියකගේ ලද බොළඳ බව රසවත් සාහිත්‍යයකට නැගු මේ කිවිවරිය, ලදරු සිතක පහළ වන අමායාවි හැඟුම් ඒ වු පරිදි ප්‍රකට කරන්නීය. මෝරා ගිය නුවණැත්තවුන්ගේ වැඩ කටයුතු පිළිබඳව ළදරුවා කියන දෙය සිතා බලන්න.


යෙදී ඇති බව කියන මුත් ඔබ තාත්තා පොත් ලියන සේවේ
අනේ අම්මේ පොත් ලියන්නට ඔහුට නැහැ තව දැනුම ආවේ
මට නොතේරෙන බොහෝ දේවල් ලියා ගෙන ඔබ සමඟ කීවේ
ඔබට වත් එය තේරුනාදැ'යි මගේ සිත තුළ සැකය පාවේ


සවස්‌ කාලය මුළුල්ලේ ඔහු ලියූ කොළ ගොඩ අතට අරගෙන
ඔබට කියවයි, ඔබ ද කන්දෙයි තේරුණා මෙන් මුවින් සිනැහෙන
නිදාගන්නට ගිහින් පවසන ඔබ කතා රසවත් ද කොපමණ
එවැනි දේවල් ලියන්නට අපෙ තාත්තට බැරි කරුණ කිවමැන


පුංචි අත්තටු සලා අහසින් පියාඹා යන සුරඟනුන්නේ
මහා ගස්‌ ගල් කටින් පිඹිමින් උගුලුවා ලන යෝදයින්නේ
කතා ලස්‌සන කුමරියන්නේ ගල්ගුහා වල සිටි යකුන්නේ
තාත්තාගේ නාකි අම්මා නැද්ද ඔහුහට කියා දුන්නේ


තාත්තා පොත් ලිවීමේ සෙල්ලමෙහි හැම තිස්‌සේම යෙදෙනව
විටෙක මා ඔහු ලියන කාමරයට ගිහින් සෙල්ලමට වැදෙනව
ඉතින් අම්මේ ඔබට එවිට ම ලොකුම ලොකු කැක්‌කුමක්‌ හැදෙනව
"වරෙන් මෙහෙ දඟකාර ළමයා" කියන බැනුමක්‌ මුවින් ඇදෙනව


යම්තමින් මගෙ මුවින් පිට වූ හැටියෙ වන බමරාගෙ සින්දුව
"තාත්තා වැඩ කරන බව උඹ නොදන් - නෙද කට වහගනින් දුව
කියා ඔබ මට සැර කරයි පෙන්වමින් සිතු තුළ ඇති උනන්දුව
මගේ කට බැඳ තබන්න ද ඔබ ඔහුට අළු - තෙන් වුණු පොරොන්දුව


ලියන එක හරි විහිළුවක්‌ නොවැ පාන්දර සිට ඉර බහිනතුරු
මා පියාගේ පෑන හෝ පැන්සලය අර - ගෙන ඔහු ලියනතුරු
ඔහුගෙ පොතක ම ඔහු ලියන පිළිවෙළට ලීවොත් 'අ-ආ' යනකුරු
මගේ පණ මිරිකන්ටකිව මැන ඔබට ඇති යුතුකමේ තොරතුරු


පියා රස්‌සාවටය කියමින් මහා පල් හෑලියි ලියන්නේ
කොයිතරම් කොළ ගොඩක්‌ ලීවත් ඔබ නොවෙයි කිසිවක්‌ ලියන්නේ
මේ තරම් ලොකු නාස්‌තියකට මොටද අම්මේ ඉඩ තියන්නේ
එහෙත් කරදහි අදියි සිතමින් මා ගැනයි තොරතුරු සොයන්නේ          


තාත්තා කොයි තරම් ලීවත් පුරුදු වී ඉවසා සිටින්නට
බැරිවෙලාවත් එකම කරදහියක්‌ ගතොත් ඔරුවක්‌ හදන්නට 
"දුවේ කරදහි හරි ගණන් දැන් එපා උඹ ඕවා අදින්නට
කියා ඔබ පැන ඒවි නිතරම මගේ කරදහි කොළය ගන්නට


-ඉන්ද්‍රා කුමාරනායක


විමසීම හා රස විදීම


1. දියණිය මවගෙන් ඇසූ ප්‍රශ්න සාමාන්‍ය ලදරුවකු විසින් මතු කළ හැකි දේ ද?
2. ලමා ලෝකයේ උසස්‌ තැන් කවියා පෙන්නු හැටි එකතු කොට බලන්න.
3. ලදැරියගෙ පියා කෙබන්දෙක්‌ ද?
4. මෙහි පද සංදර්භය පිළිබඳව විවේචනයක්‌ කරන්න.
5. මහා තාගෝර්ගේ කර්තෘත්වය යන කවිපෙළ හා මෙය සසදා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017