ස්වකීය පිටිසර කලකට ඉහත තිබුණු කෝපි කඩය කෙබදු සුන්දර තැනක්දැ'යි කියන මේ කවියා ඔබ ඉදිරියට ගෙනෙන්නේ බාහිර ආටෝපයෙන් තොර චාම් චිත්රයකි. එහෙත් එය කොතරම් සුන්දර දැයි බලන්න.
උදයට සවසට පිරෙමින් සෙනඟද
ගම්මැදි හැලිද වග තුග ලන ඇද
මුලු ගම කව්රුත් විඳ ගත් රස හොඳ
මෙතනයි තිබුණේ ගම්බද කඩයද
හිරුරැස් පොළවට වනවිට කිට්ටු
රොස්ලින් අක්කයි දියණියි කෙට්ටු
ආප්ප හා ඉඳියප්පන් පිට්ටු
පිළියෙල කළ හැටි නොදනිති රට්ටු
මැසියා රොස්ලින් අක්කගෙ දුවේ
ගම්බද තරුණන් කඩයට ආවේ
දැකගෙන යයි ඇගෙ රසවත් බාවේ
කවිසිත ඇති කොයි කාටත් සීවේ
"අබරන් අයියත් අළුයම ආපී
වැක්කෙරුව ද" අහමින් අද කෝපී
අබිනුත් පොඩියක් ඒකට දාපී
ඉන්පසු මොකවත් හරි ඔහු කාපී
රෝමානිස් නම් "බේගල්" අයියත්
වෙලුන් අප්පු යන පිටිසර ගොයියත්
ආපසු කියමින් ඇඟ-පත හයියත්
තොරතුරු පැවසූ-ලග ඇත මැයියත්
"ඊයේ රෑ මැයියා මට රැව්වා
රවමින් කුස්සිය ඇතුලට දිව්වා
අබරන් මේ අන්දමට කිව්වා
කියමින් මදහස ඇගෙ වත කැව්වා
ඉන්පසු මේ අබරන් කැසිකාරා
රෑ කොටුවට වී අලටික හාරා
කෑ හැටි ජෙරමිස් අප්පුගෙ ඌරා
පැවසිය රෝමානිස්ලට තෝරා
අප්පුගෙ ගෙයි දබරය කීවා
ගෑනිට තැලුවයි කොක්හඬ ළෑවා
මේ පිරිසට තව පිරිසක් ආවා
ගම්බද කඩයේ ලස්සන මේවා
සතයයි තේ එක මීපැණි වාගේ
සත තුනකින් වේලකි ගැමියාගේ
සතුටුයි සිත රොසලින් නම් ඈගේ
කඩයම නැතිවිණි වරදද කාගේ
ගැමිහුගෙ ගම්බද ගති හැම පා කළ
මුදලක් ඇදගත් ඉහළින් දා බිළ
දියුණුව අනුව ම ඇති රෑ දාවල
අද පිටිසර ගම්වලටත් හෝටල
-මීමන ප්‍රේමතිලක
විමසීම හා රස විදීම
1. කවියාගේ චිත්‍රය තාත්වික බවට කරුණු සොයන්න.
2. ගමේ කෝපි කඩය ගම්මුන්ගේ සිත් ගත් තැනක් වූයේ මොන කරණු නිසා ද?
3. අවසන් කවිය විභාග කොට බලන්න.