"ඇගේ නෑකම" තාත්ත්වික රචනාවක සම්පූර්ණ අවස්ථාවකි. පදයෙන් පදය රසයට යන මේ කවි පෙළ නිරායාසයෙන් ඇදහැලුණු ප්‍රේම ප්රවාහයකි.
සතුටට සෙල්ලමට තොල් සොලවන්නීය
කුසගිනි වේදනාවට හඬ දෙන්නීය
මව නුදුටුවොත් කඳුලැලි වගුරන්නීය
ඇය මේ දැකුම්කළු ලොව බබලන්නීය
සුරඟන ලොවෙහි අත්මිට මොළවමින් ගැටී
පෙන්වන සිනා මසුරන් මිළ ගණන් වටී
කෙළිබඩු ලොවක රැජිණිය වී මුණින් වැටී
ඇය එක් විටක තනිවම කෙළිදෙළෙන් සිටී
නුපුහුණු නිසා දෝ බොරු කඳුළැලි කැඩුම්
ඇය සතු කලාවකි කිරි හස රැළි වැඩුම්
තව හුරු පුරුදු නැත බහ තෝරන දෙඩුම්
ඇගේ උදය ගීතය මව ලඟ හැඩුම්
පැදුරක මෙට්ටයක විටෙකදි පෙරළෙනවා
ඇය ඉන් "පෙරළි" ලොවකට රැජිණිය වෙනවා
සියුමැලි අහිංසක කිරි අතපය වනවා
තනියම හිනැහි හිනැහී ඇය වැජඹෙනවා
ලොව වැළපුනත් පැටලී හැඟුමක වැරදී
හසරැලි නගයි ඇය මා දුටු විට දුරදී
ඈ ඇත පවුලටම සුව-සැප හිමිකරදී
හැම නිලුපුල ම ඇගෙ නෙත් සඟලට පරදී
ලං කොට දෙතන් හැම සුව පහසුවම ලොවේ
ඈ පිය කරයි ඇගෙ මවගේ තුරුලු සුවේ
ඇය දුටු තැනදි-ඇය නැති තැන පරිදි නොවේ
මගෙ ලේ නහර දිග ආදර එළිය දිවේ
ඇය නිදිගත් විටදි සුරඟන බිළිදු ලොවේ
ඇගෙ කෙටි සුසුම් මත ආදර රසය මැවේ
දිය යුතු තැනදි දෙයි දිය යුතු පරම සුවේ
ඇගෙ ආදරය උස්මිටිකම් අනුව නොවේ
කෙතරම් අහිංසක දැ'යි ඇගෙ ළදරු හිත
පවසන තරම් ඈ තවමත් දියුණු නැත
ගොත ලෝකයක දිග හැරගෙන වචන පොත
ළගදිම මටත් ඇගෙ නෑ කම කියනු ඇත
-කපිල ඊ. සෙනෙවිරත්න
විමසීම හා රස විදීම
1. "මේ කවි පෙළ ස්වභාවිකය" සාකච්ඡා කරන්න.
2. ලදැරියකගේ ගතිගුණ කීමෙහි දී කවියා උසස් කොට සැළකුවේ මොනවා ද?
3. දැනුම් තේරුම් ඇති සමාජය ව්‍යාජයයි ඔහු වචනයෙන් නොකියා අපට වටහා දෙන්නේ මොන යෙදුම්වලින් ද?
4. ඔහුට ඇගේ ඇති නෑකම කුමකැ'යි ඔබ සිතන්නෙහි ද? පිළිතුරට හේතු දෙන්න.