කුරුළු ජීවිතය
 

සෞන්දර්ය රසයෙන් මත් වු කවියා සිතන් මවා ගත් නිවහල් නිදහස්‌ ලෝකයක විසිතුරු සිතියමක්‌ බදු මේ කවි පෙළ ඉතා උසස්‌ රචනාවකි. නිර්මාණ ශක්‌තිය අතින් උසස්‌ වු මේ කවි පෙළ පද ලාලිත්‍යය අතිනිදු අද්විතීය.


යමු යමු සොදුර රන් වන් හිරු එළිය සිප
රජදානකට ඉගිලී යමු අපිට කැප
වන දෙව් ලොවේ වළඳන්නට සියලු කැප
ලස්‌සන කැදැල්ලක්‌ බැඳගත යුතුය අප


නිවහල් දිවි පෙවෙත අරඹා වනවාසි
නැළවෙමු මිනිස්‌ කටහඬ කණකට නෑසි
සපයා පුළුන් වැටී, පඬරැල් පෙඳ පාසි
ගෙය ගොඩ නැගුම මහ වනයෙහිමය ලේසි


ළංවිය නොහී ජනපදවල කුණු කසල
සුව ජනකව පෙනේ මිටියාවත මිටියාවත නිසල
අපි නිදහසේ හැසිරෙමු ඇළ දොළ අසල
අපටත් සොඳුර සෑහෙයි අප සතු කුසල


මේ පරිසරය තුළ සැප පහසුවට හිත
දිවි පෙවෙතකට අග හිඟ කිසිවකුදු නැත
ගී ගයමින් නටන්නට අතු රිකිලි මත
හැම දං පඳුරක්‌ ම මෙහි අප නමට ඇත


කඳු රැළි වලින් එකිනෙක සරු සැරිය සොරා
පදයෙන් පදය ගලපා පෙම්රසය පෙරා
කෑදර මිනිස්‌ උවදුර ළං නොවන තුරා
ගී කියමින් නටමු අපි මහ වනය පුරා


කොළ පැහැ බිතු පියසි නොපෙනෙන පරිදි කැපී
නොගලන පරිදි සිරිකඩ වැහි සුළඟ කිපී
රැකවල් තැබිය හැකි වන සේ ළපලු පිපී
රුක්‌ මුදුනකම කුඩුව බැඳගනිමු අපී


පෙම්බර කිරිල්ලිය එළියට නොබැස සිට
පසුවන අවදියට උනුසුම් සුවය පිට
රසවත් දං හිඹුටු තනියම එකතු කොට
දොර විවරයෙන් ගෙනැවිත් දිය හැකිය මට


සුළඟේ පියාපත් පිරිමැද සුවඳ කවා
රන්වන් වලා රැළි කටහඩ කැටුව යවා
අහසේ ඈත ඉගිලී ගොස්‌ උදය හවා
යුග ගී ගයමු දැන් අපි රස පවස නිවා


-එච්.ඇම්. කුඩලිගම


විමසීම හා රස විදීම
1. කවියා තැනු පරිසරය විමසා බලන්න.
2. මිනිස්‌ සමාජයෙන් ඈත තැනක්‌ ඔහු සොයන්නේ ඇයි?
3. ප්‍රේමය පිළිබඳ උත්තුංග අදහසක්‌ මෙහි ඇත. සාකච්ඡා කරන්න.
4. මෙහි සවභාව සෞන්දර්& පිළිබඳ වර්ණනා මොනවා ද?

(c) Shilpa Sayura Foundation 2006-2017