මේ කවියා ලදරුවකු සමඟ සාකච්ඡා කරයි. මොහුගේ ඇතැම් ප්‍රශ්නවලට කවියා ගොළු වූයේ අන්තිම ප්‍රශ්නයේ දී ය. කියවා බලන්න.
පිණිබිඳ සොයා එන ලාහිරු කිරණ මෙනී
හිමිදිර උදෙත් මොහු මගෙ අසපුවට පනී
එම්බා සිසු දරුව, සොම්නස් පිඩක වැනී
සුරතල් කතාවෙන් උඹ මගෙ දැනුම මනී
පිළිසඳරෙහි යෙදී සිට ලිඳලග දෙන්නා
නිරුවත් නිලඹරේ හිරු දියයට පෙන්නා
සේයාවේ රහස උඹ හදතුළ ගන්නා
මතකයි පැය දෙකක් මා පිළිතුරු දුන්නා
කාගෙද කතාවක් කන් සිදුරෙහි ගෑමෙන්
හරකුන් කතාකළ පුවතක් පැවතීමෙන්
"දැන් බැරි ඇයි" කියා උඹවිත් විමසීමෙන්
පැය ගණනක් ගියා නිසි පිළිතුරු දී මෙන්
සමනලයකුන් පෙන්නා අඹමල් ඉත්තේ
"කවුඩන් මොකායි රොන් රස ඉරුමක් නැත්තේ"
උඹ ඇසු මොහොත ඉඳගෙන පුටු අත මත්තේ
දහ වද විදීමෙනි පිළිතුරු දී ගත්තේ
නොවැටී කෙසේදැයි හිරු අහසෙහි යන්නේ
දවසක් අසා විත් උඹ උකුලට පැන්නේ
කොහොම ද කියා මතක ද පිළිතුරු දුන්නේ
මා මිස වෙන කෙනෙක් නම් නැහැ ගැලවෙන්නේ
ඇත්තට අපායම පිරුණේ ගින්නෙන්දා
එහෙනම් එහි සතුන් හැදුනේ යකඩෙන්දා
පැහැදිලි කර දෙන්ට ගොස් මේ බණ කන්දා
වරුවක් ගතවුනේ මට මොන වදයෙන්දා
මහමෙර-පොළෝ කැරකුම-සහ ඉර සේවේ
මේ හැම ගැනම මා නිසි පිළිතුර කීවේ
උඹ ඒ හැම විටම සුරතලයකි පෑවේ
මොනවා අහන්න ද අද දුවගෙන ආවේ
"ඔක්‌කොම හාමුදුරුවරු ලක අදහන්නේ
බුද්දාගම ද? ආ! හරි පැනයකි පැන්නේ
'ඔව්' 'නෑ' දෙකින් එකකුයි කිවයුතු වන්නේ
'මම' ගල් වුනෙමි කොහොමද පිළිතුරු දෙන්නේ"
-බඹරකොටුවේ සුධර්ම
1. ලදරුවා ඇසු ප්‍රශ්න සමාජය හා ඒකාබද්ධ වු ඒවාය. කවියා මේවාට පිළිතුරු දුන් බව කියයි. ඒ පිළිතුරු මොනවා ද?
2. මෙහි චමත්කාර රැදී ඇත්තේ ප්‍රශ්න උඩ නොව ප්‍රශ්න ඉදිරිපත් කළ ආකාරය උඩය. සාකච්ඡා කරන්න.
3. අන්තිම ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක් ද? මෙය උපහාසයක තියුණු අවස්‌ථාවකැ'යි ඔබ සිතන්නෙහි ද?