අවුරුදු නිවාඩුව නම් කවි කතාවෙන් උපුටා ගන්නා ලද මුතුගේ ප්‍රශ්න වචනාර්ථය ඉක්‌මවා ගිය තේරුම් වලින් යුත් කවි පෙළකි. මේ කවි පෙළ ජීවිතය පිළිබඳ දර්ශණය සමඟ එක්‌ව යයි.
හැන්දෑ වරවේ එන ගඟ වෙත නැතිව තනී
මුතුගේ සිරුර කළු උණ ගස් වැළඳ ගනී
හැමදා එගොඩ මෙගොඩට යන විට දි පෙනී
ඔරුකාරයා දැන් මුතු ගැන හොඳට දනී
මිනිසුන් ඇදෙන තුරු මෙගොඩට ඔරුව ගෙන
නතරව සිටින විට ඉවුරෙන් ලඟට පැන
ඔරුකාරයාගෙන් නොයෙකුත් කරුණු ගැන
නිතර අසා දැනගයි මුතු සතුට දෙන
"මේ ගඟ ගලන්නේ මොන කන්දක හිටද
මේ දිය නිදාගන්නේ මොන දවසටද
එගොඩින් එහා ඇති මොනවාගේ රටද
මෙගොඩ ම වගේ එගොඩත් හරියට යටද"
"මුල අග දෙකම මේ ගංගාවේ අඳුරුයි
මැද ඇති සලා ගල්පර ආදිය රුදුරුයි
එගොඩින් එහා සැනසිලි ඇති රට අඳුරුයි
මෙගොඩට වඩා එගොඩේ තොට ලඟ ගැඹුරුයි"
"හැම ගංඟාවක් ම මහ මූදට යේද
මූදට යන්ට කොතරම් කල් ගත වේද
මූදට වැටෙන තැන නම් බියකරු නේද
එතැනට ගියොත් මේ ඔරුවත් පෙරලේද?"
"ලොකු වුණ පසුව යන එන අය ගෙන යන්ට
කැමතියි මේ වගේ ඔරුවක් පදවන්ට
ඔරුවට නැගී ගෙන අර එගොඩට යන්ට
සල්ලිත් දෙන්ට ඕනැද පොඩි දරුවන්ට"
අවුරුදු නිවාඩුව ලැබුපසු පැත්තකට
පොත් පත් දමා ආවොත් මේ තොටුපලට
සතයක් වත් නොගෙන දරුවාගෙන් අතට
ගෙන යන්නම් එතෙර කර දිගටම ගමට
-විමලරත්න කුමාරගෙ
විමසීම හා රස විදීම
1. මුතු ලදරුවෙකි, ඔහු ඔරුකාරයා සමඟ මිත්‍රය. මුතු ඔරුකාරයාගෙන් ප්‍රශ්න රාශියක් අසයි. ඇතැම් ප්‍රශ්නවලට ඔරුකාරයා පිළිතුරු දෙයි. මේවා විමසා බලන්න.
2. ගංගාව කුමක් ද? මෙහි වචනාර්ථය ඉක්‌මවා ගිය තේරුම ලබාගැනීමට වෑයම් කරන්න.
3. එගොඩ සහ මෙගොඩ යන්නෙන් කවියා අදහස් කරන්නේ කුමක් ද?
4. නිවාඩුව යන්නෙන් මෙහි ගත් අදහස පැහැදිලි කරන්න.