"ආරච්චිරාල" චරිත නිරූපනය අතින් ඉතා උසස් රචනාවකි. මේ සඳහා කවියා පරිස්‌සමින් තෝරාගත් වචන යොදා තිබෙන හැටි අපූරුය. සාමාන්‍ය ඇසට නොපෙනෙන තැන් කවියාට පෙනෙන හැටි මෙයින් පැහැදිලිය.
අලියා වැටුණු වැව ආරච්චිරාලට
මුව මස් ඌරු මස් හිඟ නොමැත කෑමට
මුළු ගං ගොඩම හිටියත් ඔහුගෙ වැලට
ඔහු වැඩි පුරම බය ලොකු සයිබු නානට
වට්‌ටක්‌කා වැලකි ඒ ගෙයි වහල මත
එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු නැත
කුරහන් බිස්‌ස යට බල්ලට සෙවන ඇත
ඔහුගේ ගෙදර මට හොඳටම මතක ඇත
පස් බානක් ම ඔහුහට හොර හරක් ඇත
ගමනට පැදුරු දැමූබර බාගයක් ඇත
නියඟක් අවත් ඉන් වැඩිපුර බයක් නැත
වැව කිට්‌ටුවම වෙල "ඉස්‌සර" හයක් ඇත
ඉඳිකඩ ලඟම සිට ගත් මහලු පලු ගසේ
පොඩි පෙට්‌ටියක පානට මැසි පොකුරු නැසේ
එළියක් දුටිමි ඒ එළියෙන් ඔහුගෙ හිසේ
මට මේ ලියන විට තව ඒ එළිය දිසේ
රජයේ සේවයෙන් කෙහෙ පෑදුණු තට්‌ටේ
පොල්තෙල් ගෑ වැනිය අමු පොලයක කට්‌ටේ
තැවරුණ බවක් පවසන ගොම මුසු මැට්‌ටේ
කොණ්‌ඩය කුහුඹු ගුලියකි පොළයක නැට්‌ටේ
කෙස් නැති හිසට නැඟ ගන්නට බලන මෙනී
කම්මුල දෙසට රළු උඩු රැවුල කැරකුනී
හතරට බිදුණු බැම රළු ලොම් ගනව ගනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
රජයේ සේවයට දිවි කැප කරන මෙනී
රෑ දාවලේ යයි ගංගොඩ දෙසට වැනී
කන බොන වෙලාවට අඹුවට හොදට බනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
වී බුසලකට සිතුවොත් කුඹුරකුදු ගනී
රුපියල් දෙකක් දෙන විට පස් වරක් ගනී
සමහර විටදී ඉඳිකඩ වැට උඩින් පනී
අලියා වැටුණු වැව මේ හැම ලකුණු දනී
මොහුගේ රාජකාරියෙ ඇති මහඟු ගුනේ
ගැමියන් මුහුණ බැලුවොත් හොඳ හැටිම පෙනේ
අසරණ අහිංසකයන්ගේ කුඹුරු අනේ!
මොහුටය කොහොම හරි කෙළවර ගොදුරු වුනේ
මොහුගේ මහඟු සේවයෙ හැටි මෙයට වැඩී
යම්කිසි විටක හරකකු තැබු පසුව වෙඩී
නැගගෙන හරක් හොරුගේ කර උඩට දැඩී
පස්‌සා කකුල් දෙක ඔහුගේ ගෙයට වඩී
රැලි යුතු නලල පළලින් අඩුවිය බෝසේ
මුගටියකුගෙ පැහැය ඇත වලවූ දෑසේ
සුදුමැලි දෙතොල උඩ බැලුකොට මොට නාසේ
දිග ඇති පළල් කට කම්මුල සහ පෑසේ
මුළු රෑ ලැගී හිඳ පලු ගහක මැස්‌සක
ලැබ ගෙන අහිංසකයකු පිදුව මස්‌ටික
වළඳා අදට වුවත් වසර විස්‌සක
පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස්‌ටික
කිසිවෙක් නොවේ කෙරුමට මොහු සමඟ හබේ
වෙහෙසක් නැතුව යළ මහ අස්‌වනුද ලැබේ
කුරහන් වියෙන් බිහි තුන ඉදිමුණද ඉබේ
යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ
දවසින් දවස වන පොත ගංගොඩෙහි හැපේ
ඔහුගේ ගෙදර ලඟ කළුවර බුරුත කැපේ
ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිළුණ ද ලිපේ
හැම ගැමියෙක් ම ඔහුගේ පාමුලෙහි හැපේ
-විමලරත්න කුමාරගම
විමසීම හා රස විදීම
1. ආරච්චිරාල ගමේ නායකයාය. නමුත් ඔහු එක්‌කෙනෙකුට බය බව කවියා කියයි. හේතුව සොයන්න.
2. ගෙදර හා අවට පිහිටීම කවියා දුටුහැටි බලන්න.
3. ආරච්චිලාගේ කෙස් වැටුණු හිසත් කුඩා කොණ්‌ඩයේ අදුන්වා දීමට කවියා අපට පෙන්වන්නේ මොනවාද?
4. ආරච්චිලාගේ ගති ගුණ ගැන කවියා කියන දේවල් විමසා බලන්න.
5. "ගැමියන් පිහිට ලැබ ගිනි ඇවුළුණ ද ලිපේ, හැම ගැමියෙක් ම ඔහුගේ පාමුලෙහි හැපේ" මෙහි අදහස් විමසා බලන්න.