අයියනායක
 

අයියනායකයන් ගැන එන මේ කවිපෙළේ ස්‌වභාව සෞන්දර්&යත්, ගැමියන්ගේ ඇදහිලි හා විශ්වාසයත් පිළිබිඹුව අපට පෙනේ. කවියා ස්‌වකීය හැඟීම්වලට ඉස්‌මතු වීමට නොදී ගැමියන්ගේ හැඟීම්වලට දක්‌වන හරසර මෙහි කදිම සිද්ධියකි.


සෙවනැලි අවදි නොමවන බැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළකා කළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියෙක්‌ නැත ද මෙහි බලයක්‌ තිබෙනු දැනේ


බු ගුරු ශනි හිරුට හිමි හැම දවස්‌ වල
මේ පන්හිඳේ එළියක්‌ ඇත සවස්‌ කල
ලෙඩ දුක්‌වලින් මිදුමට බාරයක්‌ කළ
හැම දෙන එතැන රැස්‌වෙති ගම ගෙවල් වල


වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණදුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැස්‌ ගලන විට තෙරපී සෙවන මත
එක දෙවියෙක්‌ නොවේ දාහක්‌ එතන ඇත


දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇග ලොම් තුඩකට ද දැනේ
මොලයෙන් තමා ලෝකේ සුවය වැනසුනේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුනේ


සන්හිඳ ලඟ බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස්‌වල පානින් සැරසීම
වන අතු කඩා ගස්‌ දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකළමි එම ගැරහීම


සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ලඟට කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්


ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුළු නෑර සිය අණසක පතුරුවන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන


මාපිල් පිඹුරු නා පොළගුන් සිටින තැන
අලි කොටි වලස්‌ මුළු කොලහක කරන තැන
නිතර ම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන


-විමලරත්න කුමාරගම


විමසීම හා රස විදීම


1. අයිනායක කිනම් බල මහිමයක්‌ ඇති දෙවි කෙනෙක්‌ දැයි කවියා කියයි.
2. අයියනායකගේ අණසක පැතිරෙන්නේ කොහේ ද? ඔහු ලවා කවුරුන් ආරක්‌ෂා කරවීමට කවියා සැරසෙයි ද?
3. "වන පෙත දැවෙන විට වැද මළහිරුගෙ රත" යනාදි කවිය සෞන්දර්්‍ර පිළිබඳය යන්න සාකච්ඡා කරන්න.
4. සන්හිඳ, කෙම්වර යන වචනවල නියම අර්ථය සොයා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017