දුක්‌ඛාන්තයක් විදහාපාන මේ කවි පෙළ ඔබ තුළ සානුකම්පිත හැඟීම් පහළ කරවීමට සමර්ථවෙයි. "සිරගෙය" උසස් රචනාවක් වන්නේ කතා පුවත නිසා නොව කීමට උපයෝගි කරගත් කමණීය භාෂාවක් එයට ඇතුළත් වුණු උසස් අදහසක් නිසාය.
වැලි මාවත් ලෙසින් ඇති ගං හෝ දොලය
උණුසුම උරා බී ගති වැව්වල ජලය
හැම තැන ගසා ගෙන යන වියලුණු කොලය
ගිනියම් සුළඟ තුළ ඇත ලෙඩකර බලය
සැතපුම් විසි දෙකක් දුර පිටිසර ගමක
ඇතින්නියක සහ පැටවෙක් ගල් වලක
වැටී සිටියි ඉන් පිට වී ගත නොහැක
යන පණිවුඩය ලැබුනේ මේ වගෙ දිනක
බෑවුම් ගතිය ඇත ඒ ගල් තලය පිටේ
අලි කොටි වලස් පියවර එහි නිතර ගැටේ
ඔපමට ගතිය පවතී වළවටම කටේ
යම්කිසි සතෙක් මෙහි හැම නියඟටම වැටේ
කොපමණ දැගලුවත් ගල්වල ඉවුර මැඩ
ඉන් මතුවෙන්ට කිසි ලෙසකින් නොමැති ඉඩ
නොසිදී තිබුණ නියඟට මේ වතුර කඩ
සිරගෙය වුනේ කොහොම ද ඇතියකුට සොඩ
බලයේ බලය වු මහ එකකුට ද මෙසේ
මෙය හිරගෙයක් වූ බව අදහමු ද කෙලෙසේ
තුරුවැල පෙනී මහ රෑ මැද අහස කුසේ
ඇගෙ දුක කියන හැටි ගවු ගණනකට ඇසේ
නුග අතු ඇහැටු දළු ගෙන එන විටදි ලඟා
එළවා ගනී වියරුව පැන සොඬය නගා
හත් දවසක් ම මේ දුක්‌මුසු රැඟුම රඟා
ඈ බැරි තැන වුණා ඒ වළතුළම දිගා
හත් දවසක් ම දැඟලුව උගුලට අසුව
ඇගෙ සොඬ නිහඩ විය ඉන්පසු දුක් මුසුව
මව් කිරි ලැබුණු කරුණෙන් මෙතුවක් විසුව
පැටියා රැගෙන ආවෙමි මව මළ පසුව
ඇගෙ මළ සිරුර රැගත් පසුව ගල්වල
ඌරන් අත්හරින්ටැත සෙවුම මුල්අල
ඉත්තෑ මුගටි නැත උන් හිටිය ගුල්වල
නරි රැළ නොමැත වියලුණු පොකුණු විල්වල
ඒ මළ ඇතින්නට මුළු සතියකම දුක
ඇති වූයේ මගෙන් බව පැහැදිලිව දැක
මුළු ලෝකයට ඉඩ දුන් මා ළයෙහි රැක
ඇති කරුණාව ගැන මට තව තිබෙන සැක
-විමලරත්න කුමාරගම
විමසීම හා රසවිදීම
1. මේ සිද්ධිය කිනම් ප්‍රදේශයක වී දැ'යි කීමට සෑහෙන සාක්‌සි මෙයින් ම සපයාගන්න.
2. මේ කවියා විචිත්‍ර වර්ණනාවෙහි සුරුබුහුටි බව ඔප්පුවන කියමන් බලන්න.
3. "ඒ මළ ඇතින්නට මුළු සතියකම දුක, ඇති වූයේ මගෙන් බව පැහැදිලිව දැක" යන්නෙන් කවියා මේ ගැන වගකීමක් ඇතිව සිටි බව කියයි. මෙයට කරුණු සපයා බලන්න.