ගම්බද අහිංසක මෙහෙකරුවකුගේ චරිතය පැහැදිලි ලෙස නිරූපණය කරන මේ කවි පෙළ ඔබ සිත තුළ නුපුරුදු අපූරු හැඟීම් පහළ කරවීමට සමර්ථය. කවියේ ගීතවත් බව හා ශ්රව්යරූපය පිළිබඳව සැලකිලිමත්ව කියවා බලන්න.
"අලියා වැටුණු වැව" සිටි හේරත් හාමි
මා වැනියකු වුව ද මම වැදගත් විමි
මිනී කපන මුත් ඒ හේරත් හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑමි
ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැවේ
මළ මු ඇදීමෙන් ඔහුගේ දවස ගෙවේ
මාසික පඩිය ලැබ පෙන්නු නමුදු සුවේ
ඔහු දුටු සැම විට මා දුක් මුසුව තැවේ
ඇඟපත දැඩිය හැඩ ඇත හීන් දැරිය
වයසක් නොමැත-නාඹර ඉලන්දාරිය
කිසිවෙක් තවම නැත පැවසුමට මාරිය
මට පුදුමයකි ඔහු මේ කරන කාරිය
මා වැනියකුට තද සංවේගයම දීදී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිලිය අදී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද වදී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී
ගොවි-කම්කරු-රදල උඩරට කිසිම කුලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය කෙලේ
දැන ගන්නට කිසිදු වරදක් නොමැත මොලේ
කිසි අනතුරක් නොකරයි කිසිවෙකුට කැලේ
අවනත සිනා රැලි වත නිතරම පතුරයි
හැම වදනක් ම අවිහිංසකව ම සතුරයි
හැමදා වගේ සවසට බොන ගිනිවතුරයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි
පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අනේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැනේ
හැඬුව නමුත් ඔහු නැගණිය මැරුණ දිනේ
උනගත් දාට වැලපෙයි නෙත කදුලු පෙනේ
නැගණිය මළ විටදි දොස්තර සමඟ ගොසින්
ඇගෙ කය කපන ලදි හේරත්හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහුහට වැඩක් නැත ලොව ඇති රිහිරි මසින්
නූපන් නිසා දනවත් පහරු පායක
පන්සල වෙතට යයි හැම විටම පෝයක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දායක
ඊටත් වඩා සලකයි අයියනායක
-විමලරත්න කුමාරගම
විමසීම හා රස විදීම
1. හේරත්හාමි කෙබඳු ගතිගුණ ඇතියෙක් ද? නැගණිය උනගත් දා ට වැළපෙන ඔහු මළ සිරුර කැපුවේ කෙබදු හැඟීමක් ඇතුව ද?
2. "අප ඉදිරියේ ඔහු මළකුණ කපන ලදී" යන්නෙන් කවියා ස්වකීය තත්වය අනාවරණය කරයි.
3. හේරත්හාමි පන්සලට යන්නේ දනවත් මගරු පායක නූපන් නිසා යයි කවියා කියයි.
4. හේරත්ගේ දැඩි භක්තිය කා කෙරේ ද? එසේ වීමට හේතුව පැහැදිලි කිරීමට වෑයම් කරන්න.