ආගන්තුක සත්කාරය
 

ඇත පිටිසර ගමක දී ගැමියෙකුගෙන් ලබන ලද ආගන්තුක සත්කාරය සිහියට නැගීමෙන් කවියා කියන මේ කතාව කීප අතකින් රසවත්ය. ගැමියාගේ චරිතය පැහැදිලි ලෙස නිරූපනය වන මේ කවි පෙළ ඉතා දුර්ලභ රචනාවන්ගෙන් එකකි.


ගන් තුන තුලානේ, අලියා වැටුණු වැවේ
සුන්දර හාමි එතරම් පොහොසතෙක්‌ නොවේ
තුන් ලාභ කම බිම වැඩ කර දියෙන් වැවේ
රන් වන් කරල් බරවී දැන් බිමට නැවේ


ඔහුගේ ගමට මා ගිය ඒ පළමු වර
තවමත් සිතේ ඇත අමතක නොවන යුර
හේනට ගොසින් ගෙන් "හූවක්‌ තරම දුර"
එනවා දිටිමි මිටි බැඳගෙන වියලි දර


දර ටික තබා සෙවණැති පළු ගසක යට
පිස දම දමා දාඩිය එන නළල පිට
මා එන තුරුම සිට පෙන් වූ සිනහ කට
තවමත් පෙනේ දුක්‌ දොම්නස්‌ අතර මට


පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින්
මගෙ තොරතුරු ඇසූ හැටි සිත වතකු ලෙසින්
ගෙඩියක්‌ කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින්
පිළිගැන්වීය මට සොම්නස පිරුණු ඇසින්


පොල් දෙහි දොඩම් ගස්‌ තුන හතරකි වත්තේ
දුප්පත් කමයි හැම තැන ලකුණුව ඇත්තේ
කෙළෙස ද කියා කළ ගුණ සැලකිය යුත්තේ
දුන් සත පනහවත් ඔහු නැත පිළිගත්තේ


ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැති
හිතවත් කමින් සැලකු යුතුකමය සිති
ඔහුහට මුදලකින් මා කළ හැටිය තුති
සිහි වී මගේ කම්මුල රතු පැහැය ගති


-විමලරත්න කුමාරගම


විමසීය හා රස විදීම


1. කවි පෙළේ එන විස්‌තරය අනුව මේ ගම ලංකාවේ කිනම් ප්‍රදේශයක පිහිටියේදැ'යි සොයා බලන්න.
2. සුන්දර හාමිනේ රූපය ඔබට ඇත්ත වශයෙන් මෙහි කැපී පෙනේ ද?
3. "සිහිවී මගේ කම්මුල රත් පැහැය ගති" මෙහි අදහස පැහැදිලි කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017