පිටිසර සිරියාව
 

පිටිසර සිරියාව හැටියට 'ගැමි ජීවිතය කරදර හිරිහැර ආරවුල් වලින් තොර සුඛිත මුදිත එකකැ'යි නාගරිකයා සිතයි. පිටිසර ගෙදර හෝ පිටිසර මිනිසා හදිසියෙන් දැක වැරදි තීරණයට බසින නාගරිකයාට එල්ල කළ උපහාසයක්‌ වන මේ කව් පෙළ පිටිසර ඇති තතු කියන හෙයින් තාත්විකය.


වහලේ සිදුරු අතරින් වැහිබිදු බේරේ
ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ
කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ


නිල මැසි රොදින් යටවුණු කැතකුණු කසල
කෝදුරු කරල් ඇත එල්ලුණ ගෙයි වහල
මේ ගෙට තිබෙන කමතක්‌ වැනි පොඩි මිදුල
තණ කොල උඩින් මතුවුණු තුත්තිරි අකුල


කකුලක්‌ බිදුණු බංකුව, වැල් කැඩුණු ඇඳ
මේ මුළු ගෙට ම ඇති ලී බඩු දෙකය හොඳ
මෝවිට ලිහුණු මාගල ලණු පොටක බැඳ
එල්ලා තිබේ ගෙයි යට ලීයකට ඇද


ගේ හරියටම නොකැඩුණු බඳුනක්‌ නැත්තේ
කළගෙඩියේ පැලැස්‌තර හත අට ඇත්තේ
කුස්‌සිය කියන ගව මඬුවේ ලිප මත්තේ
කසායක්‌ දෙකක්‌ මොන දවසෙ ද නැත්තේ


දැළිකුණු වැකුණු ඇයගේ වැරහැලි රෙද්ද
ලිපකට දැමූවට අයියෝ ඇවිලෙද්ද
සැප යනු ඇයට මොන තරමේ බොරුවද්ද
ඇගෙ දුක අපායකවත් ඇත්තට ඇද්ද


හාමත නිසා ලේ මස්‌ ඇඟපතට නැති
වැහැරී ගිය දුබල ඒ ඇත්තියට හැති
දෙනෙතේ නිතර පාහේ දුක්‌ කදුළු ඇති
දුප්පත් කම පෙනේ ඇගෙ සියලගම එති


දරුවෝ හඩති ගෙයි හැම තැන බඩගින්නේ
ඇගෙ හදවත තුළයි ලිප ගිනි ඇවිලෙන්නේ
දුප්පත් පියා මේ අසරණ දරුවන්නේ
බැළ මෙහෙවර කරන්නෙකි දනපතියන්නේ


විනෝදය තකා එක දවසක සවස
එහි ගිය නාගරිකයෙක්‌ දැක මේ නිවස
කැමරාවකට යොමුකර ගෙය හා පිරිස
ගත්තා පොටෝවක්‌ පිටිසර සිරි පිණිස


විමසීම හා රස විදීම


1. පිටිසර දුප්පත් ගෙයක තත්ත්වය සිතට නඟාගෙන මේ කවි පෙළ කියවන විට ඔබට ඇතිවන හැඟීම විමසා බලන්න.
2. ගෙය, වහල, ගෘහ භාණ්‌ඩ ආදිය හා ගෙවැසියන් පිළිබඳව කවියා කියන්නේ අතිශයෝක්‌තියෙන් ද?
3. අවසන් කවිය කිනම් කරුණක්‌ නිසා මෙයට අනුචිත ද?

(c) Shilpa Sayura Foundation 2006-2017