කැලෑ දරුවා
 

ගම්ගොඩෙන් ඈත්ව කැලෑවට ඇබ්බැහි වු අහිංසක දරුවකු එහිදී ලැබූ ප්‍රීතිය හා සැලකිලි අඳුන්වා දෙන මේ කවි පෙළ ස්‌වභාව සෞන්දර්ය පිළිබඳ චමත්කාර ජනක සිතුවමක්‌ මතුකර දෙයි. දරුවා ඔබ සිතින් මවාගෙන මෙය කියවා බලන්න.


දවසින් වැඩි කොටස බඩවෙටියෙයි ඉන්නේ
එහි ගස්‌කොලන් විතරයි ඔහු අඳුනන්නේ
හැම කොලයක්‌ ම මේ දුක ගැන වැළපෙන්නේ
ඔහු වෙනුවෙන් තමයි කටුගෙඩි පලගන්නේ


මලින් මලට යන මීමැස්‌සකු පස්‌සේ
ගමන් කරයි ගඳපානා ගස්‌ අස්‌සේ
නොදන්නා උසස්‌ සිරියාවක්‌ ඔස්‌සේ
සෙමින් සෙමින් ඔහු යයි දහවල තිස්‌සේ


ඔහු පියවරට අසුවන උදුපියලි කොලේ
නොතැලෙයි නමුත් ඔහුගේ යටිපතුලෙ ඇලේ
මොළකැටි සිනිදු ලාදළු කොලකරටි කැලේ
ගෑවෙයි සෙමින් ඔහුගේ කෙල හිඳුණු තොලේ


කුරුළු පැටව් ඔහු දැක බිය නොව නිදති
ලේනා ඔහුගෙ අත දැවටීමට කැමති
ගොඩකරයට නොවේ මේ ලමයා අයිති
කැලයට කියා කැලයේ වැසි අය සිතති


ගම්මානයෙන් ගිය පසු ලඳුකරය වෙත
නිදහස සැපත අබිමානය ඔහුට ඇත
ඒ වන සියල්ලෙහි නිල් ලොව සිරිය මත
සමනලයකු පවා ඔහු හා තරහ නැත


මදු වැල් පුරා බබලන මදු මල් රොදය
කටු ගෙඩි ඇඹිල කොල ආහරයට හොදය
කිසිවකු ඔහුට ඉහළින් නැති අදිරදය
මේ රොස්‌විනි ගමට යාබද වන රොදය


 

විමසීම හා රස විදීම

1. කැලේ ගස්‌කොලන් පමණක්‌ ඔහු ගැන දන්නේ යයි කවියා කියයි. වනයේ අහිංසා සතුන් පමණක්‌ නොව උදුපියලි කොලය පවා ඔහුට දයාබර වූ බව කවියා කීවේ කෙසේ ද?
2. වන වාසීන් ඔහු ගැන සිතන්නේ කෙසේ ද?
3. දරුවාත් වන වාසිනුත් අතර පැවති සාකච්ඡාවක්‌ ලියා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017