කවියාගේ සිතට නැගුණු අතීත සිද්ධියක් සඳහන් වන මේ කවි පෙළ ගම්බද අන්ධ ස්‌ත්‍රියක පිළිබඳවය. ගමේ කාගේත් සිත් දිනා සිටි බව ඔහු කියන්නේ කෙසේදැයි කියවා බලන්න.
මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන කල
මතකයි හොදට නා ගහ මුල තුබුණ පැල
කවුරුත් දන්න අඳුනන යක්‌ගැහැලෙ හෙල
කන උන්දෑය විසුවේ මේ කුටිය තුල
ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදුම
අඳුනන්න|ය ඈ කොස්‌විනි මුළු ගමම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙම
පහතට නොබැස්‌සා හිඟමනකට තරම
හරකා සතා මග දී හමුවන ඇයට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙසට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගමට
බල්ලෙක් පවා නුබුරයි කිසි විට ඇයට
ඇය ආ වෙලාවට අප ගෙදරට දොරට
ලොකු සතුටක්‌ය පොඩි දරුවන් වන අපට
ඇය ඇතුළත් වුණේ අප කුළුපඟ බවට
කොහොමද කියා මට පැහැදිලි නැත දැනට
ඈ හොද හොද කතා කවි සීපද දන්නී
ඒවා රසට පැය ගණනක් පවසන්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතකන්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උන්නී
කලකට පසුව ඇය විසු පැල්පත පැවතී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැවතී
පැල තිබු ගෙපල මත නා කොල ගොඩ මහතී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැතී
-කේයස්
1. අන්ධ ස්‌ත්‍රියගේ ගෙපැල පිහිටිය තැන කවියා දුටු පරිදි ඔබටත් බැලිය හැකි ද?
2. බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇයට යන්නෙන් කවියා අදහස් කෙළේ කුමක් ද?
3. අන්තිම කවිය කියවන ඔබට පහළවන හැඟීම විස්‌තර කර බලන්න.
4. ඔබ දන්නා මෙබදු චරිතයක් නිරූපනය කරන්න.