මල්හාමි කවි කතාවකි. කතාව ඉතා සරලය. රසවත්ය. හැම කවියකම පැහැදිලි චිත්‍රයක් ඇති බව කියවන විට ඔබට පෙනෙනවා ඇත.
මදුමල් ගමේ මල්හාමි පොහොසතෙකි
දුප්පත් දුගී අයගේ හොඳ හිතවතෙකි
අපායට බියෙන් හැම පාපෙන් වැලකි
ඔහුට ගිහි ගෙදර කරදර ඇති තැනකි
"ගිහි ගෙය ගිනි ගෙයකි" පව් රැස්‌වන ඉඩම
පුරන්නට බැරිය මෙහි සිට ගුණ දහම
අත් හැර දමා ගේ දොර සිහිකර මෙහෙම
තපසට යන්ට සිතුවා දවසක් හෙතෙම
එක් සිත් සිතා ගෙන දැඩි ලෝබය පන්නා
ඔහු තම දනය දුප්පත් අයහට දුන්නා
රෙදි රියනක් විතර ගෙන විලි වහගන්නා
කැලෑවක් බලා ඔහු තපසට වන්නා
වන මුල් පලාපල කා දිනකට වරක
කල් ගත කරයි මල්හාමි ගල් ලෙණක
මේ වගෙ සැපක් ඇතිවිය හැකිදැ'යි සිතක
සිතා බලන කොට ඔහුටම පුදුමයක
කැලයේ ගසක් මෙන් නිදහස් සැපත විඳ
සැනසෙන තවුසාට මේ ගල් ලෙනට වැද
"බුදු වෙන කොට මාරයා" කීවා බොරුද
කරදරයක් වුණා එය මෙහි කිව යුතුද
ඔහු නිදියද්දි මීයෙක් නොකර ම සද්ද
ඇවිදින් දවස ගානේ කනවා රෙද්ද
ඒ රෙදි රියන මිස අනිකක් නැති සුද්ද
තවුසට මෙය දැරිය හැකි අතවරයද්ද
ගජ පාඩුවයි මේකට දැන් කටයුත්තේ
මොනවද කියාලා තවුසා දැනගත්තේ
බළලකු සොයා ගෙනවිත් නවතා ගත්තේ
එතැන් පටන් මීය නැත ලෙණ පැත්තේ
වන මුල් පලාපල වැනි තවුසගෙ කෑම
මස් කන බළලකුට හරියාවි ද කෝම
තවුසා ගුහාවේ නැතුවා දුටුවාම
යනවා දඩයමේ බළලා හැම දාම
මේ ගිය ගමන් ඌ වනයේ දවස දෙක
ගත කරනවා තවුසට ඉවසිය නොහැක
නවතා ගැනීමට බළලකු ගල් ලෙණක
හැකි පිළිවෙලක් බැලුවා තවුසා දිනෙක
තවුසා එළදෙනක දක්‌කාගෙන ආවා
බළලා දවස ගානේ එළ කිරි බීවා
වසු පැටියටත් ඒ එළදෙනටත් සේවා
වට දිනපතා පැය ගණනක් ගත වූවා
දැන් බණ බාවනාවට ඉඩ කඩ ගන්ට
මෙහෙකරුවකු නැතුව බැහැ තවුසාණන්ට
ගැටයකු සොයා එළදෙන හට සළකන්ට
සිතුවා තවුස් තෙම අමුඩය රැකගන්ට
මේ මහ කරදරය තවුසගෙ සිත පෙලුවා
යම්තම් තීරණයකට බැස හිස සැලුවා
කැඳවා ගෙනාවා කුළු මාමගෙ කොලුවා
එදවස පටන් ඔහු මේ එළදෙන බැලුවා
දවස ගානෙ ගමනක් පිඬු පිණිස ගමේ
හැසිරෙයි දැනට මල්හාමි උවසු තෙමේ
වරද නිසා දෝ කොලුවගෙ තරුණ කමේ
සිහිවෙයි ඇතැම් විට කෙළිබර ගතිය ගමේ
ගමේ ගොඩේ ඔහු ඇවිදීමට යනවා
වැස්‌සී බැදපු ගහ ගාවා කැරකෙනවා
මදු කොළ නැතුව වසු පැටියා මොරදෙනවා
කිරි නැති නිසා බළලත් පිට මං වෙනවා
කරදර ගොඩයි දැන් ආයෙත් තවුසාට
මීයා රෙද්ද කනවා ඇවිදින් රෑට
කළ කළ සියලු දෙය නොපිටට යනවාට
සලකා බැලුවා කළයුතු දෙය මීට
"සසරට කළකිරී මම ආවට වලට
පුළුවනැ තනිව විසුමට ගැටවර මොහුට
සිතමින් මොලේ ඇති තවුසා තරුණයට
විවාහයක් කරදුන්නා තනිකමට
එදවස සටන්කොට මේ අඹු සැමි දෙන්නා
කටයුතු බලාගෙන හරි හැටියට උන්නා
තවුසා තිදෙනාට ආහර සපයන්නා
"අමුඩය" නිසා වැඩ දික් වේගෙන එන්නා
තාපස පවුලෙ දැන් දැන් අගහිඟ බොහොමයි
රෙදි පිළි අහර සැපයුම තවුසට නියමයි
මේ බර පතල පවුලයි තාපස දහමයි
තාපසයාට රැක ගැනුමට බැරි තරමයි
මේ අඹු සැමියන්ට දරු සම්පත් ලැබුණා
තාපස පවුලෙ පිරිසක් ගණනින් වැඩුනා
කරදර පිටට කරදර තව ගොඩ ගැහුණා
තාපසයාගෙ කාලය මේවට ගෙවුණා
බණ බාවනාවට දැන් ඉඩ කඩ නැත්තේ
පිඬු සිඟමනට දවසම ගත කළ යුත්තේ
තවුසා මේ තරම් කරදර කර ගත්තේ
"අමුඩය" නිසා බව පැහැදිලි විය යුත්තේ
-කේයස්
විමසීම හා රස විදීම
1. මේ කතාවේ පරමාර්ථය සොයා බලන්න.
2. කවියේ දක්‌නට ලැබෙන සමතාව හා ගීතවත් බව රැදී ඇත්තේ මොන කරුණු උඩ ද?
3. සම්පූර්ණ අදහස් හතරක් එක කවියකින් ප්‍රකාශ වන කවි තෝරා බලන්න.
4. මේ කතාව දෘශ්‍ය කාව්‍යයක ලීලාවෙන් ලියා බලන්න.