සිංහල ජාතියේ අතීතය සිහියට ගෙනෙන කවියා සෞන්දර්යයක් ස්‌වකීය ප්‍රීතියක් එකට මුණ ගස්‌වයි. වර්තමානය ඔහුට සතුට ගෙන දෙන්නක් නොවේ. ඔහු කියන්නේ මෙසේය.
පන්නා යකුන් සිය අණසක පතුරවමින
විජයිදු හෙළදිවට ගොඩ බට පළමු දින
ඇති වී සිහළ දැය මතු ලොව බබුළු වන
පිපුණා එදා වන මල් නව සුවඳ ගෙන
දඹදිව දහම්සෝ රජ රජ කරන සඳ
මෙහි විය දෙවන පෑතිස් ජය කෙහෙළි බැඳ
එදවස උදාවු බොදු දම් සරද සඳ
බැබලේ අදත් මෙහි ඇති ගණ අදුර බිඳ
ඉන් පසු සිහළ දැය ලොව ජය කොඩි බන්දා
බැබලී ගියා යස කිත් දස අත රන්දා
මේ හෙළදිවට දැහැමින් පසු වන හන්දා
දවසට තුන් විටක් හැම දෙවියම වැන්දා
හෙළ දිව පුරා පැතිරී ගිය දෙමළ බලේ
බිඳ හැර දුටු ගැමුණු රජ රට රකින වෙලේ
හැම සිංහල සිතක මොනව ද ලකුණු කෙලේ
අසමින් අදත් මුතු පිනි බිදු බිමට හැලේ
යලි තව වරෙක මෙහි වු පරසතුරු තෙද
වළගම්අබා රජු යුද වැද බිඳින සඳ
ඇති වු අසිරි දක්‌වා හෙළ අඹර මැද
රන් තරු රිදී තරු බැබලෙනු පෙනෙන වද
තුන් සිංහලය එක සේසත යටට ගෙන
සිය අනසක පතුරුවා මෙහි සියලු තැන
පිටරටවල් පවා ජයගත් පළමු වන
පැරකුම් රජය දුන්නේ ජාතියට පන
අන්තිම සිහළ රජ සතුරන් අතට වැද
දුන්දා පැතිර ගිය බලතර අදුරු කඳ
දුරු කරගනු පිණිස මහ සටනකට වැද
මිය ගිය ගණන කොපමණකැ'යි සිතනවද
සතුරන් අතින් දෙන නිලතල ලැබ ගන්න
ජාතිය තවත් ඔවුනට බිලිකර දෙන්න
වෑයම් කළ අයත් මේ පොළොවේ උන්න
කොපමණ ඇද්ද අද සිහියෙන් සලකන්න
පෙර වීරයන්ගේ පියවර ලකුණු පිට
යනු මැන තවත් දුර යනු මැන ඉදිරියට
සමඟිය සමාදානය යන සෙවන යට
අද සළකනු මැනවි කළයුතු සටන හෙට
-කේයස්
විමසීම හා රස විදීම
1. ජාතියේ ඉතිහාසය දෙස කවියා බලන්නේ කෙබදු හැඟීම් ඇතිව ද?
2. ජාතික වීරයන් සිහියට නැගන විට ජාත්‍යාලය ඇත්තකු තුළ පහළවන සිතිවිලි මෙහි සුලභ ද?
3. සටන් වැද මියගිය වීරයන් ගැනත් සතුරන්ට එක්‌වී සුවපත් වූවන් ගැනත් ඔහු කියන නමුත් දෙපක්‌ෂය ගැනම විවේචනයක් නොකරයි. මෙය කවියකු තුළ දක්‌නා මොන ගුණයක් ද?