ගම්බද යුවතියක් උදේ ලිදට යයි. ගොස් දත කට මැද දිය ගෙන එයි. මේ සිද්ධිය කවියා කියන්නේ කෙසේදැ'යි බලන්න. ඡායා විචිත්රත්වය පිළිබඳ හොද උදාහරණයකි.
දතකට මදිනුවට කෑ දැළි අඟුරු තොලේ
වමතට අසුව උකුලේ හුරු පුරුදු කළේ
ගෙදරට පහළ ලිද වෙත පය නඟන වෙලේ
ඇය නිය පහර වැද පිනිබිදු බිමට හැලේ
ගුරු ගල් කැට මතුව අඩි පාරේ දිගට
කිති ගතියක් දැනෙයි ඇගෙ මොළකැටි පයට
පිපි මල් පොකුරු හා සමහර අතු බිමට
නැමුනේ මොක ද වැටහීමක් නැත ඇයට
තරමක් අවුල් වු හිස් රොද දිගට දිගේ
බැඳලා ඇතත් දඟලයි තරඟයට වගේ
බිඳිමින් නඟන ලැසි ගමනට අනුව ඇගේ
උකුලේ කළය තාලයකට ඉහළ නැගේ
මල් පෙත්තකට උපමාවන දෙකළ කොනේ
අරුංගල් යුවල පියවර අනුව වැනේ
ගෙල වට පැළඳි ඇටවැල ලද ඇයගෙ සෙනේ
ගිරියල් පාට ලැම පෙදෙසෙහි තනිව පෙනේ
නිල් කැටයක් වගේ දිය ඇති නිලට නිලේ
මේ ලිඳ කුඹුක් ගහයට ඇත ඉහළ වෙලේ
හිරු රැස් වැටී එහි කිරිමැටි පතුලෙ දිලේ
දැන් ලිං පඬිය උඩ උකුලේ තිබුණ කළේ
පළමුව ලිඳට එබෙමින් හැඩ නිල බැලුවා
තව තව අඟුරු කා ඇගෙ දත් ටික ඉලුවා
අත්ගොබ ලැමද උකුලට මංලස හෙලුවා
පිළිතුරු දෙන්නෙ කොකොම ද මේ ලඳ ගොලුවා
දෙ අත්ගොබ අත්ල දුටුවන් කරන අගේ
දෙකම්මල නිකට ගෙල සහ නලල දිගේ
සබන් පෙණ බුබුළු ටික තරඟයට නැගේ
සෙමින් මුහුණ දෑතින් පිරි මැදිණි ඇගේ
ලා හිරු රැස් වැටී රැළි පිට රැළි නඟන
ඇගෙ හිස අවුල් හැර බැඳ ගෙල මුල රැඳින
තරමක් බිමට නැඹුරුව ඇඳි වත කොණින
පිහ දැම්මාය දිය බිදු රැදි ඇගෙ මුහුණ
සේදුව ඇගෙ මුහුණ පිණි බර වුණ මලය
උපමාවකට වෙන මොනවා මුත් ද ලය
උකුලේ තබාගෙන දිය පිර වු කළය
ඈ එන්නීය ඇගෙ හිත නම් ලිඳ තුළය
-කේයස්
විමසීම හා රස විදීම
1. ඇගේ ලලිත ගමන කවියා සිතුවම් කෙළේ කෙසේ දැ' යි විමසා බලන්න.
2. සවභාව සෞන්දර්&යත් ඇයත් එක්වන් කොට කීමට කවියා වෑයම් කෙළේ ඇයි?
3. ඇගේ කණ කර වඩා අලංකාර වූයේ මොන හේතුන් නිසා ද?
4. ලිඳ පිළිතුරු නොදේ. දෙතොත් ඒ පිළිතුරු කෙබදු දැ'යි දැක්වීමට වෑයම් කරන්න.
5. ඡායා එක් වස්තුවක් චමත්කාර ජනක ලෙස වර්ණනා කිරීම අතින් අගනේය. යන්නට සාධක දෙන්න.
![](/sayura/images/logo2.png)