කවියෙන් කියන මේ කතාව සන්ත්‍රාස ජනකය : එහෙත් මෙය කවියා ඉදිරිපත් කරන්නේ උසස් ධර්මයක් උඩ ගොඩ නඟන කල්පනා වහල් කොට ගෙනය. ස්‌ථීර ප්‍රේමය හා චරිතය පිළිබඳ උසස් නිරූපනයක් මේ කතාවෙන් අනාවරණය වෙයි.
පොඩි අල්පෙනෙත්තක් පොළවට වැටෙන හඬ
ඇසෙන තරම නිහඩය රජ සබයෙ ඉඩ
මුතු සේසත යටින් රජ සිහසුනට වැඩ
හිඳ ගති, සිටින්නී ඈ නිල් පලස උඩ
මහනිල් මලක නැලවෙන පිනි පොද වාගේ
ලෙලදෙයි කඳුළු බිදු නැඟ දෙනෙතෙහි ඈගේ
රජුගේ බැලුම් පිළිබඳ රිවි රැස් වේගේ
වැද ඇගෙ වත නෙලුම පිබිදෙන බව නෑගේ
මුළු ලොව සතුන් රූ සිය පාමුල නොවන
නරඹා ඇගේ නෙත් කළු රූබර වුවන
අදහා ගනු බැරිව මැති පිරිස ද නුවන
සිටියහ හැඟීමෙන් කුතුහල රස කවන
ඊයේ සවස යන විට අසු පිටින් මම
දුටුයෙමි කෙළින සැටි කී ගෙයි උයන් බිම
එමොහොත පටන් ඉතිරී පෙම් රසින් ලැම
පීඩා විඳී ඇඩි ලෙස පසිදුරන් හැම
යදියෙකු වගේ තිගෙ ආලය යදින්නෙමි
සිහසුන, මිණිකිරුළ පාමුල සදන්නෙමි
මහ මාලිඟා තී වෙනුවෙන් තනන්නෙමි
ගබඩා ගෙවල මුතු පුරවා තබන්නෙමි
මෙලෙසින් සැහැලි යාදිනි වැල දිගට නඟා
රජ කළ නමුදු ඇය හමුවට සුරත දිගා
වැළපෙනු මිසක උණු කඳුළින් දෙනෙත පොඟා
ඈ නුවාය මඳකුදු සිහසුනට ළගා
"මහරජ තුමනි මම සැමියෙකු සෙවන ගෙන
නිවසන කතකි ඒ බව සිහිකරනු මැන
ඔහු ලඟ මගේ පණ-මා ළඟ ඔහුගෙ පණ
ඇත" කීවාය නොසැලී එම මහඟු මිණ
ගණ රන් ලියක් මෙන් අත් බැඳ තැවෙන ළෙහි
ඇය කී වදන් පැහැදිලිවම කණට ඇහී
ඇසි පිය නොලා මහ පුදුමෙන් පපුව ගැහී
සිටියෝ පිළිම විලසින් මැති පිරිස එහි
"නොහඩනු සොඳුර උණු කඳුලෙන් කොපුල තෙමි
රිසිනම් කියව තී-සනසන පිණිස හිමි
මහ සිටුපදවි රජ දහනෙහි ඔහුට දෙමි
මේ සබයෙහිදි රන් මග-හිණ පළද වමි"
"අදහම බලය ලත් තැන දුබලය අඳය
කුමට ද දැහැමි දිවි පෙවෙතට දන මදය
ඔබ රජ දහන පිළිබඳ මහ සිටු පදය
නැතුවට මගේ සැමියාණන් මට හොදය"
"මගෙ නෙත් කැකුළු නෙත් විලසට පිටට ඇදී
පියකරු තිගේ රූ සපුයෙහි රසය විදී
ඇකයෙහි රැඳෙනු මිස ආලයේ කුසුම පිදී
ඔය අබිදහම මා සනසනු පිණිස මදි
මම තී නිසා හිර සඳ අතරෙහි සරමි
මුළු ලොව රජුන් සහ මහ සටනක් කරමි
රන් ගිර පවා ඔසවන්නට තැන් දරමි
නැති නම් තවුස් දම් දිවි හිමියෙන් පුරමි
සැමියා මතක මින්පසු අමතක වේවා
මගෙ ආදරය තිගෙ හද මැද පිබි දේවා
නොකැමැති විනම් කඳුලින් සියොලඟ නාවා
බලයෙන් වුව ද තී අරගන්නෙමි පාවා"
රජුගේ උමතු සිතිවිලි දරුණු බසඇසී
හදවත මෙතෙක් පිබිදුණු සියලු බලනැසී
සිහසුන ඉදිරියේ වැඳ වැටුණු එදිගැසී
"ආලය ඔබගෙ රුවට ද මට ද " පිළිවිසී
යුග නෙත සැතපුවා වැනි විය රජ අඳුනේ
ඇය ඇසු පැණය රජ හද මඬලට වැඳුනේ
පිළිතුරු මෙසේ විය "පිය රූබර ලදුනේ
තිගෙ රූ සපුව වෙතමය මගෙ සිත බැදුනේ"
රජුගේ පිළිතුරින් පසු ඈ නැගුණි ඉබේ
උල් දිග කිනිස්‌සක් දැන් ඇගෙ අතෙහි තිබේ
කිම-දැ'යි බලන්නට මෙතැනදි කෙරෙන හබේ
නෙත් මුව අයාගෙන පසුවෙයි සියලු සබේ
රජු ගල් ගැසී සිටියදි ඈ කිණිසි තුඩ
විනිවිද යැවී සිය නැහැයේ පුඩුව මැඩ
පියකරු දෙමට කුසුමක් වැනි නැහැය හැඩ
වෙන් වී වැටුණි ලේ ගලමින් පලස උඩ
"මගෙ රූපයෙන් ඔබ වෙත උමතුව ආවා
ඒ උමතුව මෙයින් පසුවට සුව වේවා
මේ පුවත අසන මගෙ සැමියා සැනසේවා
යනුවෙන් එළඳ මුක්‌කන් හඬින් කීවා
"ඔබගේ උසස් ගුණ කස්‌තුරි සුවඳ වගේ
ලෝකය පුරා විහිදී යන පිණිස නැඟේ
පත්කර ගනිමි ඔබ මව් තනතුරට මගේ"
රජ කීවේය සිප ගනිමින් දෙපය ඇගේ
පී.බී.අල්විස් පෙරේරා
විමසීම හා රස විදීම
1. ස්‌ත්‍රිය අදුන්වා දුන් හැටි විමසා බලන්න
2. රජු හා ස්‌ත්‍රිය අතර පවත්නා සාකච්ඡාව තාත්විකත්වයට අනුරූප ද?
3. කවි කතාව ඇණ නොහිට ගලා යන හැටි පරිස්‌සමෙන් විමසා බලන්න.
4. කතාව රසවත් ලෙස ලියන්න.
![](/sayura/images/logo2.png)