සෞන්දර්යයෙන් අමරණිය මිත්‍රයා වු භාරත මහා කවියා දිවංගත වු බව ඇසූ, සිංහල කවියා සෞන්දර්යය වස්‌තුන් දෙස බලන්නේ අනාථ වු කිරිදරුවකු දෙස බලන දයාබරයෙකු ලෙසය. මෙය සිංහල සාහිත්‍යයට එක් වු සදානුස්‌මරණීය සංවේග කාව්‍යයකි.
පැළඳ දසදිගු තුන්තලාවෙහි යසස් මිණිහර මවගේ බාරත
කිම්ද උඩ යට දිගට හරහට සයුර පිළිබඳ වංග සාහිත
ඇහිඳ මිණි මුතු කසුන්හර බැඳ හොවාගත් පදසෙවන කාකත
රවිඳ නක් තාගෝර් කවිගුරු දේවයාණෙනි ලෝක පූජිත
කෙටෙන විදුලිය රිදී රේකා - සිනා කැන් මල් මෙනෙවියන්නේ
නැටෙන නා දලු- ඉරෙන රඹපත් කෙරේ කොහොමද කවි ලියන්නේ
වැටෙන අඹ මල් ඉබේ වියලෙයි කොවුලු මුලු නැත ගී කියන්නේ
ගැටෙන මල්වල බඹර මීමැසි පිරිස ගැන කචුරුද සොයන්නේ
ගුවන් කුමරිය ළැමැඳ සිපගත් වලා පටලක කුසුම් ගොමුවක
කසුන් තරුවක-ළහිරු රැස් බිදුවක-සුලං වැද නටන කුඹුරක
සබන් පෙණ බුබුලක-සිහිනයක-ළදරු දෙතොලක ගඟක මුහුදක
කොතැන් හි සැඟවුණි ද ඔබ පණ, අහෝ මහ කිවිදුනි නොකිව හැක
උලා මල් සුණු දෙපාතුඩුවල පියාඹන සමනල කුමරුවනි
කලා දෙව් දූතිකාවනි, තුරු සිරස පෙම් ගී ගයන විහඟුනි
මලා නික විලඹුවකි, දෝතින් දමා දුහුවිලි කෙළින පැටියෙනි
බලා පවසව් මහා කවිගුරු දේවයෝ කොයිබදැ'යි සොයමිනි
බොහෝ දුර සිට ගෙවා විත් මඟ පහළ යන මල් පියලි ගඟ මැද
කොහෝ මට සැනසෙයි ද නොදනිමි මහා කවි නෙත් පහර නොමවැද
සහෝදර සඳපහන-පිනිබිදු-මලානික විය සහ කැකුළු කොද
අහෝ දැන් ඔබ නැති නිසා සුදු පරෙවියන්හට කවර පිහිටද
සමන් මල් මැද කවඩි බෙලිකටු අතර විසුරුණු මුහුදු වැල්ලේ
රුවන් කෙඳිමෙන් ළහිරු රැස් සිඹ ගලා යන ගඟ දියෙහි රැල්ලේ
උදෙන් මිහිදුම් සලුව පෙරවූ ගිරක මිටියාවතක පල්ලේ
බලන්නෙමි ඔබ ඉන්නවාදැ'යි කුරුලු ගීයේ දෙමටගොල්ලේ
එදා ගංගා නදිය උතුරා යන අයුරු දැක මහා වැස්‌සේ
සදා නිම කළ කවිය කියවන ගලයි රසබිදු පිටට හොස්‌සේ
නිදා ගන්නට මඩේ පයකින් යන කොකා නුග සෙවන අස්‌සේ
දදා හදවත සොයයි ඔබ ගැන අසෝකාමල් පඳුරු අස්‌සේ
පාන් සිළුවෙන් ලමා ගීයෙන් සියඹලා අතු අතර මියෙන්
සීන් හඬ නැඟි බට නලාවෙන් ගනව සුසැදුනු කොළොම් යායෙන්
කාන්තිය යුතු වලා දුන්නෙන් අසා ඔබ ගැන කිකිණි රායෙන්
සාන් තිනිකේතනය වැළපෙයි අඹ උයන් බිම බඹර ගීයෙන්
![](/res/imgx/9.jpg)
1. ජගත් සෞන්දර්ය අනාථ වී යයි කවියා කියන හැටි විමසා බලන්න.
2. මළගිය තැනැත්තා කොතන සිටිනවාදැ'යි සෙවීමට කවියා ගමන් කරන තැන් බලන්න.
3. මේ වර්ණනා උචිත බව මොන කරුණු පිට ඔප්පු කළ හැකි ද?
4. මෙහි යොදා ඇති විශේෂණ පදවල ඔබ දන්නා රසය කුමක් ද ?
![](/sayura/images/logo2.png)