නැටුම
 

නිදිගත් කිරිකැටි බොළඳ දරුවාගේ සිහිනයක්‌ සිතුවම් කරන මේ කවියා අප ඉදිරියේ මවා පාන්නේ කමණීය පරිසරයකි. මේ පරිසරය තුළ නටන නිළියන්ගේ රැගුම් ඔබට සිහිනයක්‌ නොවේ.


පුන්සඳ මඬල වැජඹෙන සඳ අහස පිට
දිලිහෙයි මදින් මඳ තරුවැල් කණක කැට
වවුලෝ පියාඹා යති අඹ උයන සිට
සඳරැස්‌ වැටෙයි කවුළුවෙකින් නිදන ගෙට


අමුතුම හැඟීමක්‌ දෙයි මඳ සුළඟ හැමී
නව තණ පිටිය බබලයි පිනිපොදට තෙමී
පොඩිදුව සොයා එන හාවා පනින පිමී
ඇය නිදියන බැවින් මම දැක සතුටු වෙමී


කිරි දියරක්‌ වගේ ඉගිරෙන සුදට සුදේ
සඳරැස්‌ වැදෙයි දැන් දැන් පොඩි දුවගෙ ඇඳේ
සුරබිළීඳුන්ගෙ පා බැඳි මිණි ගිගිරි නදේ
තාලෙට ඇගේ තොල් පෙති එකිනෙකට වැදේ


කෝකිල නලා හඬ රැව් පිළිරැව් ගැන්නේ
අත්තටු නලව නලවා සීතල පින්නේ
සඳරැස්‌ වළලු පිට සුර බිලිඳුන් එන්නේ
කුමට ද ඔවුන් කවුලුවෙනුත් ගෙට එන්නේ


අක්‌ බඹරු වී ගිය කෙස්‌ රොද සිඟිති රැලී
සුර බිලිඳියක වෙන නාදය අනුව සැලී
මතුවන විටම අවටින් කනමැදිරි එලී
තව සුර බබෙක්‌ ඇගෙ කිරිදත් කැකුලු බැලී


එක්‌ සුර බිලින්දක්‌ ඇගෙ පොඩි ඔසරි කොනේ
තැවරෙන සුළඟ සිපගත් කොඳ කැකුලු වනේ
ඉහළට උරා දු මුහුණට පිඹිනු පෙනේ
මෙවෙලේ ඇයට ඇහැ ඇරුනොත් හොඳ ද අනේ


"පුන්සඳ සඳුන්කඩ නිලඹර ගල ගෑවේ
එහි රැස්‌ කලල් දියරෙන් මල්වතු නෑවේ
සෙල්ලම් කරන්නයි මෙපමණ දුර ආවේ
නැගිටින් කියා එක්‌ සුර දැරියක්‌ කීවේ


පොඩි දුව ඇහැ ඇරී නරඹා හතර වටේ
පෙන්වා සුනාසුණි කිරි දත් හතම කටේ
නාමල් රේනු අහුරක්‌ සුර බබෙකු මිටේ
තව සුර බබෙක්‌ රෑ සමනලයෙකුගෙ පිටේ


සුර බිලිඳුන්ගෙ මායම් හොඳහැටි දන්නා
හාවා දෙකන් දිගුකර ඇඳ ලඟ උන්නා
පොඩි දුව ඇඳෙන් බැස ආවිට කර පින්නා
හාවා කවුළුවෙන් සඳපහනට පැන්නා


පැන්නෝ ඉනික්‌බිති සුර බිලිඳුන් රොත්ත
අමුතුම හැඩයි දැන් ගේ ලඟ මල් වත්ත
හාවා සමඟ පොඩි දු වටකර ගත්ත
කනමැදිරියෝ පෙන්වති දිලිසෙන චිත්ත


"කෙලිබර හිතවතුනි දැන් නම් මහ රෑය
සඳරැස්‌ සිඹින සඳ කොඳමල් වල පෑය
මතුවන ගීය අප රැකුමට අඬගෑය
මගෙ පොඩි බිළින්දෑ නටමින් කී දෑය


පළමුව වචන ටික මුවඟින් ගිලිහෙන්ට
කවුරුත් කැමැති වූවෝ නැටුමට එන්ට
වෙණ කාරිය පටන් ගති වෙණ නද දෙන්ට
වැඩ වැඩි වුනා ලිඳ ලඟ තණ ගිරවුන්ට


සුදු වැලිතලය වදිමින් පා සිඟිති තුනි
නික්‌මෙන ගිගිරි නද වෙණ නද සමඟ ඇනි
රැඟුමේ විරාමය විත්මය කියන මෙනි
ලෙල අත් කුසුම් පොඩි ගිනිසිලු සැලෙන වැනි


සුරලොව රැඟුම් හුරු ඇති මේ බොළඳ පිඩු
සමඟින් එකට රඟ පෑමට සෙනෙහෙ වැඩු
පොඩිදුව නමන හැටි තාලෙට ඇඟිලි තුඩු
රන්වන් පියාපත් පමණකි ඇයට අඩු


වේගය සිහින් විය සුර බිළිඳිගෙ විනේ
පිනිබිඳු වගෙයි දහඩිය දුවගොස්‌  මූනේ
වැහිකළුවක්‌ පෙරයි සීතල හඳ පානේ
ලංවුන බව හැඟෙයි රැඟුමෙහි අවසානේ


හැම දෙන නිසොල්මන් වු දිව රැඟුම නිමි
රහසක්‌ කියති දැන් කන් පොතුවලට නැමි
මේ පොඩි පිරිස යනු කොයිබද එදෙස යමි
මා නොපෙනෙන්ට තුරු සෙවනැලි යටට වෙමි


පී.බී.අල්විස්‌ පෙරේරා


විමසීම හා රස විදීම


1. කවියා විසින් මවා පෙන් වු චමත්කාර ජනක පරිසරය පරිස්‌සමෙන් සිතට නඟා බලන්න.
2. මොවුන්ගේ නෘත්‍යය අපට පෙනෙන්ට සැලැස්‌වීමට කවියා ගත් වෑයම සාර්ථක ද ?
3. කිරිදරුවකුගේ අහිංසක පියකරු බව සමඟ කවියා කරන සාකච්ඡා තව දුරට විමසා බලන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017