පුතා නිදි
 

කිරිදරුවෙක්‌ නිදයි. ඔහුගේ නින්දට උපයෝගි වන පරිදි අවට හැඩ ගැසෙන පරිසරයේ අප නුදුටු දෙය කවියා දනී. ස්‌වභාවික වස්‌තුන් කවියා තැනට සුදුසු ලෙස පාලනය කරන අපූරු ලීලාව මෙයින් ඔබට පෙනේ.


වනමල් උඩ පෙඟී
කිරි හඳ අහසට නඟී
පිනි මුතු ඇටවල ඉඟී
පුතු නලවන්නට අඟී


සඳ මැද වැජඹෙන සතා
ඇහැරේවිය පොඩි පුතා
සිතමින් නොකරම කතා
ඇත මොනව ද හිත හිතා


මගෙ පුතු නිදියෙනු බලා
උඩ පාවෙන සුදු වලා
පළිඟු කැරලි ඇඟ උඩලා
පැන ගොස්‌ හඳ තනි කළා


නෑවී වතුරෙන් හඳේ
පුතු නිදියෙනු දැක ඇඳේ
පළඟැටියන් සිය පෙඳේ
ගීතය පෙරමෙන් නොදේ


පුතු හමුවන සිත ඇතී
කණමැදිරියො පැමිණෙතී
නිදිවර බිඳෙකැ'යි සිතී
යට ලීයේ සැඟ වෙතී


කිරිදත් සැඟවුණු තොලේ
නරඹන්නට රැය කලේ
ආ දරුවන් කරු කුලේ
පුතු නිදියෙනු දැක සැලේ


කොලවල හැපුනොත් එයින්
මහහඬ පැතිරෙන හෙයින්
ගස්‌වැල් දැක වී අයින්
සුළඟ හමා යයි බයින්


කුරුමිණියන් එළි වැදී
පිය පහරින් නිදි බිදී
පුතු ඇස හැරුමට නොදී
පොල්ගොබ ඇතුළට වදී


කවඩි පැහැය ඇති ඉපී
පානේ සිළුවට හැපී
පුතු ඇස හැරෙතැයි තැපී
නිහඬව මරු මුව සිපී


හඳපානේ වැනි වැනී
පසුවන පොල් ගස්‌ පෙනී
නුබුරා පෙර විලසිනී
දඩෝරියා නිදි ගනී


මීයන් එළියට ඇදී
නැටුවත් කුස්‌සියෙ වැදී
උන් අල්ලන සිත නොදී
බළලා පිල පිට නිදී


පොඩි පැටවුන් කෑ ගසා
පුතු ඇස අරවන නිසා
සිය ඇඟවන් නොම කසා
කිකිළි සිටී තටු වසා


කොට්‌ටය මැද හිස තබා
පුතු නිදියෙනු දැක නොබා
මව ඇකයෙහි හොට ඔබා
නිදයි කුරුළුගෙයි බබා


පිනි බිඳු වැද තණ පතින්
හඬ නැඟතැ'යි යන සිතින්
කොඳ කුමරියො කෙළි මතින්
අල්වති මොළකැටි අතින්


මූ උඩ පැන්නොත් මෙසේ
නිඳි බිඳෙතැයි පුතු ඇසේ
බස්‌සා හිඳ අඹ ගසේ
ගෙම්බකු සඟවයි කුසේ


ඔරුවක්‌ යයි විල මැදේ
රැලි හැප්පී ඔරු කඳේ
තාලෙට පෙර මෙන් පඳේ
ඇරඹෙන්නට ඉඩ නොදේ


වරල් පහර වැද රැයේ
මහ හඬ නැගෙතැ'යි බියේ
සැඟවෙනු මිස යට දියේ
මාලුත් රැලි පිට නොයේ


පිපුනොත් මන බිඟු පොදී
පුතුගේ නිදිවර බිදී
නෙලුම් ලියන් විල වැදී
නොපිපී හැකිලී නිදී


පී.බී. අල්විස්‌ පෙරේරා


විමසීම හා රස විඳීම


1. ස්‌වභාව සෞන්දර්ය කවියාට උවමනා පරිදි පාලනය කරන හැටි විමසා බලන්න.
2. මේ කියවන්නා තුළ නිහඬ නිසල බව ඇති කිරීමට කවියා ගත් මඟ කුමක්‌ ද ?
3. මේ කවිවල ඇති ශ්‍රව්‍යරූප තෝරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017