උප්පලවන්නා
 

කවියෙන් කියන මේ කතාව රසවත්ය. කවියා කතාව කියන්නේ ඉදිරියට ඒ පුවත ජීවමානව ගෙනයමින්ය. කතා නායිකාවගේ කෙළිබර ගතිය ඔබට මුලින්ම දක්‌නට ලබේ.


වරලෙස හෙලා සිට මැද වන මල්ගන්නා
දෙතොල් ඔපය බුලතින් පදමට පෙන්නා
සිය යෙහෙළියන් පිරිවරමින් රස දන්නා
ආවා උයන් කෙළියට උප්පලවන්නා


විදුලිය ඉරක්‌ යන මෙන් වැහි පටක උඩ
මුතුපොට සැලිණි ඇගෙ දඟ ළය දෙපස මැඩ
සළුවෙන් ලැබෙන සඳ ඉන මිණි දකින ඉඩ
පාදැල්වලින් වැගුරුණි වැහිලිහිණි හඬ


එකියක්‌ සිනාසී එකියක නුවන් වසයි
මිත් සළෙලකුගෙ තොරතුරු රස බසින් අසයි
සමහර විටෙක යෙහෙලියකට මලින් ගසයි
මෙතරම් මොවුන් කෙළිබර නවයොවුන් නිසයි


සැඟවී කලක්‌ මල්බර පඳුරකට වැදී
කහවණු හළනමෙන් පලසක්‌ මතෙහි රිදී
රූබර උප්පලා මඳහස රසය දිදී
අඹයක්‌ නෙලා යෙහෙළියකට ගසනු ලදී


ඔබ්බෙහි අඳුරු සෙවනැලි බිහිකරනහුගේ
සෙවනට තවුස්‌ උතුමෝ එති නිබඳ වගේ
ඒ අඹ ගෙඩිය විසි වී ගොස්‌ අඳුර දිගේ
වැදුනා එතන සිටි සැරියුත් හිමිගෙ ඇගේ


වැරදි අඹෙන් ගැසුව ද ඇගෙ සුරත විසින්
පෙම් ගිනි කඳක්‌ ඇවිලී මුව මිහිරි බසින්
අඹමල් පහර එන්නට විය ඇරුණු ඇසින්
හිමිසඳ සිටිති නිසලව පෙර පුරුදු ලෙසින්


ඈ මුවගෙයි තබා හදතුළ නගින විස
මතුරන නමුදු සළෙලුන් සිත් බඳින බස
සැරියුත් සමිඳු නොබලති ඇගෙ මුහුණ දෙස
හැමුවා සවස මඳනල මල් පොකුරු පිස


"වැරදී දමා ගැසු මී අඹගෙඩිය නිසා
නොසතුටු සිතින් සිටිනු ද මුව මඬල වසා
මමුවින් නැගෙන ගී සර මුසු තෙපල අසා
බරණැස්‌ කසී සළුපිළි පළඳවමි මසා


මල්බර රුකෙක සිරිගත් නව තුරුණු බිම
ඔබගේ යොවුන් කය දඹරන් රුවක සම
ගුරු පෑ පෙවු රෙදි කඩකින් වසනු කිම
බරණැස්‌ කසී සළුපිළි පළඳවමි මම


විල්ලුද පලස්‌ මත රැඳවිය යුතුවූ ඔබේ
පා යුග බලනු මැන දුහුවිලි මුසුව තිබේ
හිතවත සඳුන් හර මා වෙත නිතර ලැබේ
ඉන් සැදූ කදිම මිරිවැඩි ඇත මැදුරු ගැබේ


නෙත් යුග තවම රස නොම හඳුනන පාටයි
නිදිමත ගතිය එහි නිලඳුන් නැතුවාටයි
මා සතු අඳුන් ඉඳුලද නවවක දාටයි
හිමියනි සිකුරු සඳු යෝගය අද රෑටයි


මදුරා නුවර වෙළෙදුන්ගෙන් විලවුන්ද
ගන්දරයන් තිලිනිට ලත් මිදි පැන්ද
සුසිනිඳු යහන් මුතුවැල් වියනට බැන්ද
මැදුරෙහි තිබේ හිමි ඔබ නොවඩිනු මන්ද?


අපරන්තයේ පන්නෙට රස මසවුලුද
සඳබා නදී බඩ ඇට නැති මිදි වලුද
කුරුරට කජු ද කොසඹෑ පලතුරු මලුද
අතුරමි ඔබේ පාමුල-හිමි ඔබ ගොලුද"


"සත් පෑ ගෙවෙන විට හිරු අවර පත් වෙලා
මේ නුග මුලට එනු නැගණියනි උත්පලා"
හිමිසඳු වදාළෝ ඉවතකට නෙත් හෙලා
අබිසර'ඟනගෙ සියලඟ එකට රත් කළා


තරු වැනි මහඟු මිණිතැල්ලක්‌ බැඳ ගෙලට
අගනා වතක්‌ හැඳ රැලි ගැන්නූ පෙලට
සුසුමෙන් අළුත් නූපුර හඬවා බොලට
ආවා අඳුර කිමිදී ඈ නුගමුලට


අබිසරඟනගෙ උණුසුම දිය පිහිල්ලකි
ඇගෙ මිණිබරණ අඳුරට රැස්‌ කැරැල්ලකි
හදිසියෙ ඇසුණු මේ ගිඟුමකි විදිල්ලකි
සමිඳුන් සවස සිටි තැන ඇට සැකිල්ලකි


"සමා වෙනු මැනවි නොපනත් කමට හිමි
ඕනෑ තරම් වරදට උණු කඳුළු බොමි
මින් පසු මම ද ඔබ පියවර අනුව එමි"
ඈ කීවාය බට පඳුරක්‌ විලස නැමි


පී.බී. අල්විස්‌ පෙරේරා


විමසීම හා රස විදීම
1. කතා නායිකාව කෙබඳු ස්‌ත්‍රියක්‌දැ'යි ඔබට කවියා නොකියයි.
2. ඇගේ කතාව ඇසෙන විට ඇය කෙරේ ඔබ තුළ පහළ වන්නේ කෙබඳු හැගීම් ද?
3. මේ කවි කතාව මේ වු පරිදි වාක්‍යයට නඟන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017