ගමේ ලිඳ ලඟට එන ගැහැණුන් අතර පවත්නා කතා බහ හා කෙළිකවට මේ යයි දක්‌වන කවියා ස්‌වකීය රචනාවට පැරණි කතාවක් මුල් කර ගනියි. මෙහි එන වර්ණනා ස්‌වභාවිකය. සරලය, චමත්කාර ජනකය.
ලීලයි-කමලයි-චම්පයි රේකයි
බානුමතියි-නයනයි- සඳරේකයි
දිය ගෙන යාමට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ නිතර ම අවිවේකයි
නිලඳුන් ගෑ දිගැසින් ම බලන්නියො
මුතු වැල් බැඳ තන කැකුළු තලන්නියො
මී පැණි ගංගා මුවග ගලන්නියො
නයි පෙණ තාලෙට උකල සලන්නියො
කවට කතා බස් කියන ලමිස්‌සියො
බරණැස නම් ගත් රජ මීමැස්‌සියො
සුසිනිඳු සළුවෙන් සිහිනිඟ වැස්‌සියො
පියයුරු බර ඉසිලීමට දස්‌සියො
කවුරුත් මේ ලඟටම එන්නෝ
පඬිකඳ පිට නැඟ මදහස දෙන්නෝ
කඹ පට කළවල කරවට ලන්නෝ
දේඳුනු සෙයියාවෙන් දිය ගන්නෝ
දිය කළ උකුලට ගත් ගැහැණුන්නේ
මොළ කැටි අත්, කළ කරවට යන්නේ
"මෙහෙමයි සුරතලයන් පිළිගන්නේ"
යනුවෙන් නොකියා පෙන්වන වැන්නේ
පොල් කිච්චන්නේ කිචි බිචි නාදෙන්
දවසක් ලිඳ ලඟ කැළඹුණි වාදෙන්
සුරතලියක් පවසයි "ඔය මීදෙන්
දිය ගෙන යාමට අද මෙහි ආදෙන්"
"මොනවා කරමු ද ඇය මෙහි ආ විට"
එකියක් විමසයි නටමින් බාගෙට
"දීගය අතහැර යන්නට ඒකිට
කියමු ඇනුම් පද පෑරෙන දෑතට"
කහවනු දහසක් වෙනුවට පාවා
දුන් ලඳ එහි දිය ගැනුමට ආවා
දිගැසක් කළයක මොනව ද ලීවා
කවුදෝ එවිට ම උරුහම් බෑවා
නය මුදලට දුන් කහවනු දාහේ
බකිනි මලක්‌වත් ගෙන එනු වාහේ
රූමතියක් නටවා දිග දෑහේ
කීවා බොරුවට පිරිමැද නාහේ
"මිනිහා හැට පිරුණත් හරි දස්‌සයි
ගෙට ගෙන ආ සීදේවිට විස්‌සයි
කී රතු මැණිකක් මඳහස වස්‌සයි
මඳහස වස්‌වා සිහිනිඟ ගස්‌සයි
ගැහැණිගෙ පින තිබුණත් කුළු මුල්ලේ
සමහර විට මළ අතුවල එල්ලේ
නිල් මැණිකක් බැඳියක රන් තැල්ලේ
කීවා අතගා තුන්ඉරි බෙල්ලේ
"සුදු රවුලක් ඇති එලුවකු වාගේ
මිනිහකු සමඟින් නොගියට දීගේ
ලඟ එනවා මගෙ මංගල යෝගේ"
දැරියක් කී ඇස ඉඟි කොට ඈගේ
"රූපය දෙනෙතට රසඳුන් දේවා
දැසමන් කැකුලෙන් ලය සැරසේවා
මහල්ලෙකුට එනමුත් අඹුවේවා"
යනුවෙන් චලනයනාවක් කීවා
"සම නැති දීගෙක පෑහුණු හින්දා
මෙතරම් දුර ඇසුවෙමි නවනින්දා
කහවනු දහසක් වෙනුවට කැන්දා
විත් සිටි ඒ සොඳුරිය ඉකිබින්දා"
"කුමට ද තී ඇස කඳුලැලි ගල්වනු
නව යොවුනකු වෙත සෙනෙහස දල්වනු
නාකි හමා ඇද රැවුලෙන් සොල්වනු
දැසි දස්‌සන් ගෙන එවයයි ඉල්ලනු
ලිඳ ලඟ සබයෙහි මේ බණ දෙසුවා
අසරණ කාලිය ඒවා ඇසුවා
ඉන්පසු සිත පුරවා රස මුසුවා
ගෙන ආ කළය ද ගලපිට ගැසුවා
පී.බී. අල්විස් පෙරේරා
2. වෘත්තයට වඩා පරිසරයට ගැලපෙන්නේ ශ්‍රව්‍යරූප බව මේ කවි පෙළ වහල්කොට ගෙන සාකච්ඡා කරන්න.
3. වෙස්‌සන්තර ජාතකයේ එන කාලිය උසිගැන්වීම පිළිබඳ කවිපෙළ හා මෙය සසඳා බලන්න.