මෙර මුළු ලොව වසන සක්‌වළ දෙවියන්ට
නිරතුරු මම කියමි දෙකින් ගොඩ එන්ට
කරදරයක් නැතිව නෙත නිදි නැත ඉන්ට
ඇර දෙන් උණ රෝග දෙවි පින් සිදුවන්ට
සතක් කියමි කවිකර සන්න වැදියා
මෙතෙක් ගණන් එකසිය සැට දවස් ගියා
මෙතෙක් වෙලා තද දුක් බොහොම ඉවසියා
කොතෙක් රෝග වත් මගෙ ඇගෙන් දුරු ගියා
නියර කොටා වැඩ නිමකර තිබු කුඹුර
වතුර ගලා සෝදා ගෙන ගිය කුඹුර
කතරගම දෙවිදු බාරයි මගෙ කුඹුර
අතරමං වෙලා මං යනවා ගෙදර
බත් කාලා බඩ පුරවා යන්ට ගියා
තෙල් ගාලා හිස මිටිකර ගන්ට ගියා
බුලත් පුවක් හුණු දුන්කොළ කකා ගියා
අපෙ අය්යා වෙඩි හෙනකින් නැසී ගියා
දරුවන් හදන විස්‌තර මේ අහගල්ලා
දරුවන් නිසා රෑ නිදි නැත නැළවිල්ලා
දරුවන් හදන්නේ මතු සැපත ඉල්ලා
දරුවෝ බෙදයි ගුටි බැට අත් දෙක අල්ලා
වැටුණේ මේ හිරේ තද දුක් විඳින්නට
කන්නේ ලබු හොදියි වට්‌ටක්‌කයි දැනට
මුන්නේ මේ වදන් අත මිදිලා යන්ට
යන්නේ කවදාද මවුපියො දකින්නට
මුළු රට වටී මම තැනු මේ දරු දෙන්නා
කටකටවති මගෙ දෙතනේ කිරි වන්නා
නිලංකාරයක් නෙත් දෙකට එන්නා
පුතා මගේ බඩගින්නේ පණ යන්නා
කඳන් ඉරිතලා කඳහතු පිපෙන්නේ
පොලොව ඉරිතලා බිම්මල් පිපෙන්නේ
දොළදුක් වෙලාවද දරුවන් වදන්නේ
මන්ද කළු සැමි දරු දුක නොදන්නේ
පමා නැතිව කරපන් පිළිවෙතක් මට
පමා වෙලා වූදේ නරකයි අපට
නිමා ගන්ට බැරි නුඹ දුන්න ගිනි මට
නමා සිරස කිව්වේ රන්කඳ නුඹට