නුඹ එන කොට සඳ පායව්වා වාගේ
නුඹ එනකොට සඳගල වැටුණා වාගේ
පිපුණු මලට බඹරෙඳු එන්නා වාගේ
පිට පාලා යන්දලු තරහෙන් වාගේ
පිදුරු ගලේ පය තද කර යන්ඩ බැරී
කඳුරු ගසේ ගෙඩි කාලා ඉන්ඩ බැරී
සොඳුරු මෙදුක් මට ඉවසා ගන්ඩ බැරී
ඇඳිරි මෙගේ මට තනියම ඉන්ඩ බැරී
ඉස්‌තුටි වඩන ආදර ඇති මවුනි නුඹ
අත් හැර මෙමට දුක් දුන්නේ ඇයි ද මට
අඳුරු ගමට තනිවීලා මා දැනට
ඉස්‌තීරයක් වෙන ලෙස මවු දකින විට
එකම සහෝදරයෙනි නුඹ වෙතට මම
ඉන්නේ සැමදා ම සිතු ආදරයෙන් ම
විලක් මැවුණ සේ එයි කඳුළු සැම දාම
සහෝදර ඔබට ඕනෑ නැද්ද මම
මවු කෙනෙක් ලෙසට මිතුරිය ඔබ සිටිය
දෙව් කෙනෙක් ලෙසට මා ඇසු දුටු ලෙසය
අද දිනේ ගෙදර අදුරට පත් විය
දෙවියනේ මෙදුක උසුලන්නට බැරිය
දරුවන් සැම දෙනම තැන තැන ගල් වීලා
සුරුවන් ගුණේ වෙනදා ලෙස නැත ඔබලා
කරුමෙන් ඉපදිලා උසුලංට වුණි මුලා
දෙවියන් සරණමයි ඔබලාට මෙය බලා
අපෙ අයියා තනි කරදර උසුලනවා
සැප දුක ඔබේ සොයවන්නට නොලැබෙනවා
අත දුර නිසා සොහොයුර හදවත දනවා
අපෙ අයියා ඔබ සැම දෙවි රැකදෙනවා
උතුම් ගුණේ ඇති අපෙ ලොකු අයියාට
සිතින් මෙලෙස පවසන්නේ පවතින්ට
පැතුම් බලෙන් සොහොයුරු ලැබුණා මෙමට
මෙතුන් ලොවේ දෙවි කරුණාවයි ඔබට
උල්ලාපොල නුඹ ඉඳිනේ කියාපන්
පල්ලේවෙල මම ඉඳිනේ කියාපන්
නුඹට දුකේ මම අඬනේ කියාපන්
ටිකිරි බඩී මට හීනෙන් පෙනීයන්
මල්වල හොඳ සුවඳ විහිදී ගෙන යනවා
ඒ මල් වලින් මම සීලය ගෙන යනවා
ඔබ කිව් රස කතා මට දැන් සිහිවෙනවා
ඉතින් අයියේ මම නින්දට යනවා