වරාගම ගමට ආවේ පැණි බඹරු
උල්ලාපොළ ගමට ආවේ විස බඹරු
ඒවා බලන්නට ආවේ රජ බඹරු
අම්මා නුඹේ දුක නලවන්නේ කවුරු
එන්නන් කියන්නන් කලුකොටු අරවන්ඩ
ලී වැල් කොටන්නේ හැරපොට බන්දන්ඩ
මලේ අඬන්නන් තව තව රොන් ගන්ඩ
පලයව් බඹරු තොපෙ දිවි ගළවා ගන්ඩ
බඹරේ තිබෙන ගස මුල සිට මේ දෙන්නා
නැගුණා ගසට බඹරෙට දුම්දෙන මෙන්නා
රැගෙන මඩිය ටික ටික ගිනිදුම දුන්නා
එකලා බඹරේ විසිරුණෙ හෙණ සැර මෙන්නා
බලන්ට යමු තලමල කුරුපනා වෙලේ
නමක් තැරැලේ පැවතුණි විහාරේ
බිමක් මෙතන කෙටුවාසේ ම පාරේ
පනක් කර ගන්ට බැරි වුණි නිස්‌සාරේ
දෙකක් පිපුණි හොඳ තලමල් විහාරේ
සතර පෝය පසළොස්‌වකට සඳ වගේ
මිහිර දිවට මීපැණි උක් සතුරු වගේ
අහර පුද සිරිත් පවතින ඉඩම ලගේ
වෙහෙර ළඟ පිපුණු තලමල් දෙකේ අගේ
උඩට එළිය වැටුණේ තල මල පිපිලා
බමට අඳුර වැටුණේ තල අතු නැමිලා
කඳන් තිහක් තිස් අතකට බේද විලා
හරිතැන්නේ ඉරට්‌ටේ තලමල පිපිලා
අහසකි උසකි උස පමණකි රන් කොතකි
මූදකි රැලකි රැල පිට යන තල ගේකි
දේස දේසවල කියනා සන්නයකි
මෙවැනි ආකාර අම්මේ තලමලකි
එගොඩ කන්ද දුම් බාලා දුම් බිංදඳු
මෙගොඩ කන්ද පිණිබාලා පිණි බිංඳු
කන්දෙ කැලේ මොර පැසිලා පැණි බිංඳු
පිටියේ ගෙදර තල මලකට කවි සිංඳු
ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා
දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා
මල් පිඳුමට ටැම්ගොඩ පන්සල සුද්දා
යල් කුඹුරට පිපි තලමල පර සිද්දා
බඹර බඳිති බලගොල්ලේ බමර ගලේ
එතනින් ගොසිනි පාදෙණියේ වරල් කැලේ
මුදුන් මලට පිපුණුය රත්තරන් මලේ
බලන්ට යමු තලමල කුරුපනා මලේ
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවියන්ට
පුංචි දා පටන් අපි දෙන්නා මිතුරු
අමිත්‍ර කමක් සිතුවේ ඇයි ද ගරු
ලොවේ කය වචන සිතයට තිබේ බොරු
ගමෙන් අස්‌වුනේ මොකදැයි මගේ මිතුරු
දරු දෙන්නා කරදරයෙන් ළත වෙනවා
සොහොයුරු ඔබ මුහුණ සිතකින් පසුවෙනවා
හැම කරදර මගෙ සිතයට ගොඩ වෙනවා
අවුරුදු අපට නොදැනී එය පසු වෙනවා
ආරන්නේ පඳුර වට කර දළු ලන්ට
මෝරන්නේ සඳේ කරුවල දුර ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප වෙන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවියන්ට
කදු හත පිපෙන මල රොන් ගන්නේ බඹරු
තද කොට සුළඟ හද සුව එයි ගන අදුරු
බුලතට කෑ ලෙසට රසවේ අමු කපුරු
ළඳ නුඹ නැති ගෙදර අද දවසේ පාලු