33 වන පිටුව
 

කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටිය දී හැරපොට කපා බසී
බමරු සිය දහස්‌ ඇඟ ලේ උරා බොතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී


කිතුලා හෙළේ බුක්‌කිරිය කන්ට ගියා
වලස්‌ බමර දැක තියලා එන්න ගියා
පොල් ගහගම පනික්‌කිවරු පැරද ගියා
කිතුලා හෙළට හඩ දීලා බමරු ගියා



වරාගම ගමට සොඳ සුසිරි පනික්‌කියෝ
උල්ලාපොළට ගස්‌ කැපුමට යන්ට ගියෝ
පීරාලා නිල් වරලස බැඳල ගියෝ
බමර ගහෙන් වැටුණලු ඒ පනික්‌කියෝ


වරා ගමේ හොඳ රූසිරු පනික්‌කියෝ
උල්ලා පොළට ගස්‌ කැපුමට යන්ට ගියෝ
සතර වරම් සැම දෙවියෙක්‌ කැටිව ගියෝ
උල්ලාපොළ ගසින් වැටුණලු පනික්‌කියෝ


කුසේ උපන් අයියන්ඩි කරපු හැටී
ගසේ ඉඳිද්ඳීත් හැරපොට කපා බසී
දහස්‌ සිය ගණන් බඹරෝ ඇඟේ කතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී



උඩ මාලේ මල් වැහි වහිනවාත් දුටින්
බිම් මාලේ ලේ වැහි වහිනවාත් දුටින්
ලිප ලිප් ගල් තුන වෙන් වෙනවාත් දුටින්
නා ගස බමර කපන්න යනවාත් දුටින්


උඩ මාලේ මල් වැහි වහිනවාත් දුටිම්
බිම් මාලේ ලේ වැහි වහිනවාත් දුටිම්
ලිප ලිප් ගල් තුන වෙන් වුවත් දුටිම්
නා ගස බඹරේ ගිනිගෙන දනවාද දුටිම්


උඩ මාලේ මල් වැහි වැස්‌සත් යනවා
බිම මාලේ ලේ වැහි වැසසත් යනවා
ලිප් ගල් තුන වෙන් වූවත් යනවා
නා ගස බඹරේ කපන්න දෙන්නම යනවා


රොණට යන බඹරු රොන් අරගෙන එද්දා
මලට යන බඹරු මල් අරගෙන එද්දා
දියට එන බඹරු දිය බීගෙන එද්දා
යන්ට යන බඹරු අඬ අරගෙන එද්දා


මලේ සැම තැනම බඹරුන් අඬන්නා
බඹර බැන්ද තැන් අපි වද සොයන්නා
බඹර කපා පැණි සැමටම බෙදන්නා
බඹරු තොපට පිං අත්වෙයි කියන්නා


බැද්ද ගමයි බැදි වතුරයි දිසාවේ
බැද්ද බඹරු නසන්ට කව්දැයි ආවේ
පංච වාරන්න රස කිරි බත් කෑවේ
ලස්‌ස ගණන් බඹරිඳු ගසට ආවේ


නයා ගොඩේ බින්තැන්නේ ගස සැදුණා
අතු ඇවිදින් ගහ වටකර සෙවන වුණා
ඉටි පැණි බඹරු ඒවට පුරුදු වුණා
උල්ලාපොළ ගමට පළවෙනි ගස සැදුණා


බුද්දම ගමේ සැප පොළවේ ගස සැදුණා
කඳන් තිහක්‌ තිස්‌ හතරට බේද වුණා
ඉටි පැණි බඹරු ඒවට පුරුදු වුණා
බුද්දම ගමට ඔබිනා තලමල පිපුණා

(c) Shilpa Sayura Foundation 2006-2017