31 වන පිටුව
 

හේනක්‌ කොටා බෝගත් ඉසිඤ්ඤා
වත්තක්‌ වවාලා උළු ගේ සදඤ්ඤා
බදුලු ගොසින් පට රෙදි පිළි ගෙනෙඤ්ඤා
සුදු මැණිකෙට දළු බුලතක්‌ එවඤ්ඤා


බුලත් වලට කොට පලු කැන් කොහෙන්දෝ
පුවක්‌ වලට රතු රබ්බඩ කොහෙන්දෝ
පොල් අත්තට පොල් ඉරටා කොහෙන්දෝ
පොට්‌ටිගේ කොලුව තොට සීපද කොහෙන්දා


බුලත් කඩන්නේ ගොනු අල්ල අල්ලා
පුවක්‌ කඩන්නේ නැටි අල්ල අල්ලා
වඳුරන් පනින්නේ පිණි පොල්ල පොල්ලා
ලෝපන් බලු බෙට්‌ට ඉව අල්ල අල්ලා


බුලත් කඩන්නේ පිහිලා තිබෙනවට
පුවක්‌ කඩන්නේ ඉඳිලා කඩනවට
වඳුරො දුවන්නේ උන්නේ සිරිතකට
දීපිය බලු බෙට්‌ට තොපගේ මහ එකිට


බුලත් කකා මම පිල පිට ඉන්න කුට
ලලෙත් අරන් යන්දලු එතනා ළිඳට
අහස උසට ගිණි ඇවිලුනි කුසේ යට
බුලත් විටක්‌ කාලා පලයෙනි ළිඳට


ඇයි ළඳුනේ තනියම මල් නෙලන්නේ
දෙමාපියෝ නැතුවා දෝ තමුන්නේ
මල් මල් වගේ ගෝමර අව්වේ දාන්නේ
කපුරු ලා බුලත් කන්නට වරෙන්නේ


සිටිය සිටිය දෙපතුල ලේ පිරිච්චි
ඇඳලා ආ මොරිය කඳුලෙන් තෙමිච්චි
ගෙනා දළු බුලත් ඉණ යට තැවිච්චි
නුඹෙන් බසක්‌ නැති සඳගල වැටිච්චි


උකුණු කතේ පීරන්නට පතා නැතී
ඉනිකුණු කතේ තොට ලන්නට රඳවු නැතී
කටේ කුණට කන්නට ඳළු බුලත් නැතී
අපිපච්චි මා දුන් තැන මොකුත් නැතී


බත් කාලා බඩ පුරවා යන්ට ගියා
තෙල් ගාලා ඉස මිටිකර යන්ට ගියා
බුලත් පුවක්‌ හුණු දුං කොළ කකා ගියා
අපෙ අයියා වෙඩි හෙනකින් නැසී ගියා


යන්නන් බමරු දුක්‌ මැසිවිලි කියාලා


බැද්ද වටට සුදු මොරමල් පිපීලා
සද්ද කර බමරු ඒ වග වසාලා
ඉටිත් පැණිත් ලොව සැමට ම බෙදාලා
යන්නන් බමරු දුක්‌ මැසිවිලි කියාලා

(c) Shilpa Sayura Foundation 2006-2017