30 වන පිටුව
 

රිදී වළලු අත ලාලා අත වට ට
සේල ටිකිරි අන්දවලා තුනු විඟ ට
දහුරු ටිකිරි පොරවාලා උරිස්‌ පිට
රිදී ටිකිරි එනවද වලු කටින යට


ඉද්ද තියයි කර කෑවි පොල් බෑව පිට
පාන තියෙයි ඇවිලී පුරු කන්ද පිට
බුලත් බෙදාපන් වළු කටින ගොල්ලට
විඩා බෝයි හිට කැටපත් හනී කට


කටිනා මඩුව ගාවට වැඩ මොවා ලා
කටිනා යන්තරා සැමටම බෙදාලා
ඉර් යටතේ වළු සැමටම බෙද ලා
කටින සුරඟනන් අවසර ලැබී ලා


බුලත් පුවක්‌ හුණු දුංකොළ ගෙනාවා


හෙලේ කුඹුර මාවුස්‌සාව ගාවා
දුරට පෙනෙයි අල කොළ ගල සුබාවා
බුලත් පුවක්‌ හුණු දුංකොළ ගෙනාවා
පැලේ ඉන්ඩ හිතේ බැරුව ආවා


ඈත එපිට පස්‌සර වත්තේද බුලත්
ඊට ඉනක්‌කන් මඩලාපු පල් පුවක්‌
කස්‌තුරු කපුරු පිණිදිය දාපු සුණු ටිකක්‌
බුලත් ටිකක්‌ දෙනවද රාළ දැන් මටත්


අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නඟෝ
වසාගෙන දෙතන අතකින් කින්ද නඟෝ
හිමියා නැති ගමන් කොයි යනවාද නඟෝ
බුලත් විටක්‌ කාලා පලයන්න නඟෝ


බුලත් ගන්ට ගියෙමිය මම ගෙදර කට
තලප කන්ඩ කීවේ උන්දලා මට
තලප කියා උගේ පෝපත දුටු කලට
එදා පටන් අප්පිරියයි තලප මට


බුලත් කන්න අද දෙවියනි මොකුත් නැතී
බුලත් ගංගියෝ ආගිය තැනක්‌ නැතී
විටක්‌ විනා දෙවිටක්‌ දෙන කෙනෙක්‌ නෑතී
බුලත් විටක්‌ දුන් කෙනෙකුන්ට පින් ඇත


බුලත් ගදන්නේ උස ඇති ගස මුලක
පුවක්‌ හදන්නේ ඇල දිග හෙවි ලියක
කවියට කියන්නේ නිතරම මන්තරක
බුලත් විටක්‌ දෙනවද බණ්‌ඩාර මැණික


සරිද සරි නොවෙද බඩුවක්‌ ඉල්ලන්න
සරි නොගියත් එනවා ඇවිදින් යන්න
කඳ මැද යන දළුව අතු අග ලියලන්න
දෙනවද කපුරු මානෙල් බුලතට කන්න

(c) Shilpa Sayura Foundation 2006-2017