කුරහන් කරල ඇට සීනියි බොලන්නේ
ගෑණු රොත්ත වට කරගෙන කපන්නේ
කබල් පොත්ත ලිප උඩ ම යි තියෙන්නේ
රොටී පෙත්ත කාල ද වැඩ කරන්නේ
හරක් රොත්ත වැට ලඟ ඉඳ අඬන්නේ
වඳ කොලු හැත්ත ගේ මුළු වල අඬන්නේ
කබල් පොත්ත ලිප උඩ ලා ගිණි කන්නේ
රොටී පෙත්ත වත් නැතුවයි මැරෙන්නේ
හරක් රොත්ත වස්‌සෝ දැක අඬන්නේ
මගෙ දරු හැත්ත හින්දයි දුක් විඳින්නේ
කබල් පොත්ත ලිප උඩ ලා ගිණි කන්නේ
රොටී පෙත්ත වත් නැතුවයි මැරෙන්නේ
රොටී රොටී හැමදාටම උයනවා
රොටී කබල බිඳියන් දෙවියනේ හෙට
මැටී සේම උඩ දම දම වඩන්නේ
ගුටි බැට නොකා පලයන් යන්නට ගමට
බටිය බොල බටිය බොල බටියේ
ගෙයි මොකවත් වැඩ පොළ බැරි මොටියේ
රොටිය නිකන් ඔක්‌කොම අමු පිටියේ
මතුවට නම් තෝ දීගෙට වටියේ
රොටී රොටී නිතරම රොටි රොටීයේ
රොටී ඉවුමමයි ලිප මුල වැටීයේ
රොටී කන්ට කිම ඔය හැටි පැටියේ
රොටී කන්ට දවසක තී නටීයේ
මෙවැනි කතෙක් කටුවල හාරයිලූ
සිලිං ගාන්නේ ගල්කැට බොරලූ
සිලිං ගාන්නේ දෑතේ වළලු
වළහ මීය කන ලෙසට ඇහෙයිලු
මෙවැනි කතෙක් කටුවල හාරයිලු
ඈන්න උන්න හිමි කුඹුරු කොටනවා
මසෙන් වැදූ දරු ලේ වෑසෙනවා
යල මහ පෙරමඟ අපිත් තනනවා
ඒවා එනකල් කටුවල කනවා
ඔය මඟ යන්නේ අඩේ තොපි විතරක්‌ද
කටුවල කන්නේ අඩේ තොපි විතරක්‌ද
කටුවල කෑවාට අඩේ කුලයක් ඇද්ද
ඔය වග කීවාට අඩේ ටොකු නානිද්ද
පස් ගම්මන කන්දේ අල ඇති රාලේ
එම කන්දේ අල උගුලා දමන් කැලේ
අල කන්නේ මෝ නැති අයමයි රාලේ
අල කාලා මොහු දකිනා කවර කලේ