බුලත් කන්ට ගියෙමින් මං ගෙදරකට
තලප කන්ට කීවේ උන්දලා මට
තලප කියා උගුපෝපත දුටු කලට
එදා පටන් අප්පිරියයි තලප මට
කිකිලුවා නොවෙද බිත්තර දමකන්නේ
මකුළුවා නෙවෙද දැල් බැඳ සිටින්නේ
වපුරලා නොවෙද කුරහන් පැසෙන්නේ
කිකිළි බිජු විතර තලපේ බෙදන්නේ
නෑනො නෑනො අපි දෙන්නා සමඟි වෙමු
වානෙන් සැදූ පං කැති සදවා ගනිමු
හේනේ ගොසින් රවුමක් කුරහන් කපමු
දානේ දෙන්න කුරහන් රොටි ඇරන් යමු
අක්‌කර ගණන් පොල්වතු ඇති පාත රට
අත්හැර දමා පැමිණී මේ උඩ රටට
ඉස්‌තිර නොවූ පිටරට හාලේ බතට
ඇස් ඇර සිටි සැවොම කති කුරහන් දැනට
කුරහන් වලට බොහොසේ නිගා කොට
පරසිදු රට හාලෙ බත කෑ පාත රට
හරක් මෙන් වැදී දැන් මේ පිටිසරට
හුඟක් උන් සොයා යති කුරහන් දැනට
උස් උස් කුරක්‌කන් ගිරවුන් කපන් ගියා
මිටි මිටි කුරක්‌කන් සාවුන් කපන් ගියා
රිකිලි කුරක්‌කන් මීයන් කපා ගියා
තොපෙ අම්මා කළු බළලෙක් අරන් ගියා
උස් උස් කුරක්‌කන් ගිරවුන් හට බාරයි
මිටි මිටි කුරක්‌කන් සාවුන් හට බාරයි
රිකිලි කුරක්‌කන් මීයන්ට බාරයි
තොපෙ අම්මා කළු බළලුන්ට බාරයි
අරු දෙකේ ගමන් ඇවිදිල්ලා වෙහෙසා
නැලි දෙකේ කපා පුරවා ගෙන නොලසා
අරු දෙකේ කැපුණ කුරහන් පලු බොහොසා
අරු දෙකේ සිටිමු අපි දෙන්නා මෙලෙසා
සිම් = හිමි
රොටී පෙත්ත කාලද වැඩ කරන්නේ
හේනට ගියත් අව්වෙන් බැහැ බේරෙන්ට
වැඩට ගියත් දරුවන් බැහැ පන්නන්ට
ගෙදර යකාගෙන් මට බැහැ බේරෙන්ට
ලුණු නැති රොටී ම යි දෙන්නේ අද රෑට
කකා මොටද කට මැත කම් දොඩන්නේ
නොකා කවදා ද කරබන සිටින්නේ
යකා සේ ම ඇස් රවලා බලන්නේ
රොටී තමයි අද රෑටත් උයන්නේ