24 වන පිටුව
 

අපෙ එතනා හෙට කාඟෙද කපන්නේ
අත්තමක්‌ නැතුව කොහොමද කියන්නේ
ඒ අත්තමට මම ඇවිදින් ගෙවන්නේ
අප එතනා හෙට කැපුමට වරෙන්නේ


තරුණ කාලෙ කළ වැඩ බැහැ නාකි වෙලා
දරුවන් කිරි පොවා එන විට දවල් වෙලා
අරුව දෙකේ කුරහන් කරු බෙදීලා
කුරහන් කපමු නෑනෝ සෙල්ලම් කරලා


කැපින් කැපින් ඉස්‌සර ගෙවෙන්නෙත් නැති
කැපින් කැපින් පෙට්‌ටිය පිරෙන්නෙත් නැති
පොකුටු කුරක්‌කන් කැත්තට හුරුම නැති
මේ දුක්‌ බලාලා අම්මා එන්නෙ නැති


ජාති කළ පවක්‌ දෝ පිරි මැහෙන්නේ
කරල් අස්‌වැන්න කොහොමද පිරෙන්නේ
දෙතන මඩල නිලි වැස්‌සට තෙමෙන්නේ
තුන් මස්‌ තුන් පෝය දිනකට වසින්නේ


කුරක්‌කන් කපයි අඹරයි අපේ එකී
හැළිය මුවාවට ඉඳගෙන බෙදන එකී
තලප ටික කන්ට හොදි ටික නොදෙන එකී
ඊයේ පලද්දැයි මා ලඟ උන්නු එකී


බිං නුඹගේ මං කුරහන් කපන කොට
බටිත්තියෙක්‌ ආවයි මගෙ ඉස්‌සරට
බටිත්තියේ නුඹ ආවේ දරු දුකට
බටිත්තියෙනි පලයෙනි නුඹෙ කුඩුවට


උරණ වෙලා සිවුපද නොකියන් එතනා
දිළීඳු උදාරම් පැටියෙකි මම එතනා
සිව්පද වරම් දුන් දෙවියොත් ළඟ සිටිනා
ගජක සිංහ පලියකි සිව් පදට ගෙනා


නිරි.


ඔබත් ඔතන ඉපනැල්ලේ කර වෙනවා
මමත් මෙතන ඉපනැල්ලේ කර වෙනවා
ඉසේ තිබුණ ලේන්සුව සුළඟට යනවා
පීඩා බෝයි ළඳුනේ  හෙවනට එනවා


 

යායේ කුරක්‌කන් ගොඩ ගෙඩි කුරක්‌කන්
මාගේ කුරක්‌කන් එන්සල් කුරක්‌කන්
කපා ගන්න බැරි එව්වගෙ නරක්‌කන්
කපා දියන් මගෙ නෑනෝ කුරක්‌කන්

කුරක්‌කන් නොවෙද හේනට ඉසින්නේ
නරක්‌කන් නොවෙද සිමි මට කරන්නේ
නරක්‌කන් කරත් සිමි නුම බොලන්නේ
කුරක්‌කන් හේන කපලයි ඇරෙන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017